‘මම ඉල්ලා අස්වුනා..’ - ඇමති අනුර කරුණාතිලක පාර්ලිමේන්තුවට කියයි..


කන්ටේනර් 323ක් සම්බන්ධ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට පත් කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකත්වයෙන් තමන් ඉල්ලා අස්වන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

තමන් මෙම තීරණය ගැනීමට හේතු වූ කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම තේරීම් කාරක සභාව සඳහා තමන් පත් කරන අවස්ථාවේදී නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ද, වර්තමානය වන විට තමන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බවයි. 

කන්ටේනර් නිදහස් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා රේගුව මගින් සිදු කළ ද, වරාය අධිකාරිය යනු එම ආනයන අපනයන කටයුතු සඳහා පහසුකම් සපයන ආයතනයක් බව ඔහු පෙන්වා දුන්නේය.

තමන් වරාය විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් මෙම කාරක සභාවේ රැඳී සිටීම තුළින් "සබැඳියාවන් අතර ගැටුමක්" ඇති විය හැකි බවත්, එමගින් විමර්ශන ක්‍රියාවලියෙන් අනාවරණය වන සත්‍යයේ විනිවිදභාවය පිළිබඳව කිසිවෙකුට ප්‍රශ්න කිරීමට ඉඩක් ලැබිය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

එම නිසා විමර්ශනයේ ස්වාධීනත්වය ආරක්ෂා කරනු පිණිස තමන් මෙම තීරණය ගත් බවත්, ඒ සම්බන්ධ ලිපිය සභාගත කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, මෙම විමර්ශනය සඳහා රේගුවේ සහ වරාය අධිකාරියේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් කැඳවීමට නියමිත බැවින්, විෂය භාර අමාත්‍යවරයා එහි සිටීම ගැටලු සහගත බව විපක්ෂය ද පෙන්වා දුන් බවයි.

කෙසේ වෙතත්, අමාත්‍යවරයා අවධාරණය කළේ මෙම ඉල්ලා අස්වීම තමන් විසින් කරුණු සලකා බලා ගනු ලැබූ ස්වාධීන තීරණයක් මිස වෙනත් කිසිදු ඉල්ලීමක් මත සිදු කරන ලද්දක් නොවන බවයි.

2 Comments

  1. ඉතින් අපිට පාන්ද?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ 323 තිබුණේ තහනම් බඩු . කුඩු හා ආයුධ

      Delete
Previous Post Next Post