විදුලිය නැග්ගුවොත් ඇගලුම් හාන්සියි..


මෙම වසරේ දෙවැනි කාර්තුව සඳහා යෝජිත සියයට 13.65 ක විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වුවහොත්, මෙරට ඇඟලුම් නිෂ්පාදන පිරිවැය සියයට 1 ත් 2 ත් අතර අගයකින් ඉහළ යා හැකි බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි. 

ඔහු අවධාරණය කළේ, සියයට 5 ත් 7 ත් වැනි ඉතා අඩු ලාභාංශයක් මත පවත්වාගෙන යන මෙම කර්මාන්තයට එම පිරිවැය ඉහළ යාම දරාගත නොහැකි බලපෑමක් එල්ල කරන බවයි.

ශ්‍රී ලංකාව දැනටමත් ඉන්දියාව, බංග්ලාදේශය, වියට්නාමය සහ කාම්බෝජය වැනි රටවලට සාපේක්ෂව ඉහළ නිෂ්පාදන පිරිවැයක් සහිත රටක් බව ප්‍රනාන්දු මහතා පවසයි. තවදුරටත් ගාස්තු ඉහළ දැමීම හරහා මෙම රටවල් සමඟ ලෝක වෙළෙඳපොළේදී තරග කිරීමට ඇති හැකියාව තවදුරටත් අඩුවනු ඇත.

විශේෂයෙන්ම බංග්ලාදේශය සමඟ පවතින තරගය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, තීරුබදු සහන හේතුවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින බවයි. උදාහරණයක් ලෙස ජපානයට ඇඟලුම් අපනයනය කිරීමේදී බංග්ලාදේශ නිෂ්පාදකයෙකුට වැයවන පිරිවැය ඩොලර් 100 ක් වන විට, ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයෙකුට ඒ සඳහා ඩොලර් 115 ක පමණ පිරිවැයක් දැරීමට සිදුවේ.

බංග්ලාදේශය වැනි රටවලට ලෝකයේ ඕනෑම රටකින් තීරුබදු රහිතව අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේ පහසුව ඇතත්, ශ්‍රී ලංකාවට එම අවස්ථාව හිමිවන්නේ චීනය, සාක් කලාපය සහ යුරෝපා සංගමයේ රටවලින් පමණක් බව හෙළි විය. වෙනත් රටවලින් අමුද්‍රව්‍ය ලබාගැනීමේදී පැනවෙන බදු හේතුවෙන් සමස්ත නිෂ්පාදන පිරිවැය සියයට 15 ත් 25 ත් අතර අගයකින් ඉහළ යාම කර්මාන්තයට දැඩි බාධාවකි.

දේශීය ඇඟලුම් ක්ෂේත්‍රය සුරක්ෂිත කර ගැනීම සඳහා රජය වහාම මැදිහත් විය යුතු බවත්, ඒ සඳහා ඕනෑම රටකින් අමුද්‍රව්‍ය ගෙන්වීමට හැකි වන පරිදි ද්වීපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම, දැනට සියයට 55 ක් වැනි මට්ටමක පවතින ජී.එස්.පී. ප්ලස් (GSP+) සහනයේ ප්‍රතිලාභ උපරිමයෙන් ලබාගැනීම සඳහා අවශ්‍ය කොන්දේසි කඩිනමින් සම්පූර්ණ කිරීම, ඉන්දියාව අනුගමනය කරමින් ඇමරිකානු වෙළෙඳපොළ තුළ පවතින තීරුබදු ගැටලු විසඳා ගැනීමට කටයුතු කිරීම, ජපානය, කොරියාව, චීනය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් සමඟ නව වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීම වැනි ක්‍රියාමාර්ග ගත යුතු බවත් සභාපතිවරයා යෝජනා කරයි.

මෙම සහන හා ප්‍රතිසංස්කරණ නිසි කලට සිදු නොවුණහොත් මෙරට ප්‍රමුඛතම විදේශ විනිමය උපයන මාර්ගයක් වන ඇඟලුම් කර්මාන්තයේ අනාගතය අතිශය අවදානම් සහගත වනු ඇති බව ඔහු අවසාන වශයෙන් ප්‍රකාශ කළේය

Previous Post Next Post