මාලිමා මන්ත‍්‍රීවරුන් තිදෙනෙක් තමන්ගේ නමටම රජයේ කොන්ත‍්‍රාත් ගනී...


ගම්පහ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු රජයේ කොන්ත්‍රාත් ව්‍යාපෘති තම පෞද්ගලික නාමයන්ගෙන් ක්‍රියාත්මක කරමින් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති බවට විපක්ෂය චෝදනා කරයි. 

මාධ්‍ය හමුවකදී විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ මෙම ක්‍රියාවන් පළාත් පාලන ආඥා පනත සෘජුවම උල්ලංඝනය කිරීමක් බවයි.

මන්ත්‍රීවරයෙකු සභාවේ කොන්ත්‍රාත් ලබා ගැනීම නීතියෙන් තහනම් වන අතර, එවැනි වරදක් ඔප්පු වීම මන්ත්‍රී ධුරය අහෝසි වීමට තරම් ප්‍රබල හේතුවකි.

මෙම වංචාව සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමට විපක්ෂය පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී මේ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද නියමිතය.

සභාවේ සභාපතිවරයා මාසිකව ඉන්ධන ලීටර් 500ක් ලබා ගනිමින් සහ රුපියල් ලක්ෂ දෙකහමාරක මාසික කුලී පදනම මත වාහනයක් භාවිත කරමින් අනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්ති කරන බවටද මෙහිදී කරුණු අනාවරණය විය.

"සභා වාර්තාවේ සඳහන් වෙනවා අශෝක කුමාර මන්ත්‍රීවරයාත්, ධර්මවංශ මන්ත්‍රීවරයාත් ලබා ගත්ත මුදල්. ඒ වගේම බැකෝ යන්ත්‍ර යොදාගෙන සහන් ප්‍රසාද් මන්ත්‍රීවරයා මුදල් ලබා ගත් හැටිත් සඳහන් වෙනවා. පනතේ සඳහන් වෙනවා මූල්‍ය ගනුදෙණු කරන්න බැහැ කියලා. මේ මූල්‍ය ගනුදෙනු කළාම සභික ධුරය අහෝසි වෙනවා. ලබන සභාවාරය 10 වැනිදා තියෙනවා කියවීමේ හැකියාවක් තියෙන අයනේ ඉන්නේ. ලැජ්ජාවක් තියෙනවානම් පනත කියවලා සභාවට නම් එන්න එපා.

අද වෙනකොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මාසෙකට ලක්ෂ 5කට අධික මුදලක් ලබාගෙන තිබෙනවා. එතුමා පාවිච්චි කරන වාහනය කුලී පදනම මත මාසිකව දෙලක්ෂ හැටදහසකට ලබාගෙන තිබෙනවා. එතුමා ඩීසල් ලීටර් 500ක් සභාවේ අරමුදලින් ලබාගෙන තිබෙනවා. සභාවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිට මෙහෙම ගන්න එතුමා ලංකාවේ ජනාධිපතිද ? මොවුන් ජනතාවගේ මුදල් අවභාවිතා කරමින් විශේෂ වරප්‍රසාදයක් ලබනවා. මේ ගොල්ලෝ වල්පැල ගලවලා මල්පැල හිටවනවා කියලා තමයි සභාවේ බලය ගත්තේ. දැන් ඒ මල්පැල නිකන්ම වල්පැල බවට පත්වෙලා"

Previous Post Next Post