විදුලි ඇමතිට අල්ලස් කොමිසමෙන් අධි චෝදනා ගොනු කිරීම දේශපාලන බලයෙන් නවත්තලා...


විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අධි චෝදනා ගොණු කිරීමට ගෙන තිබූ තීරණය දේශපාලන බලපෑම් මත නතර කර ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී බරපතල චෝදනාවක් එල්ල කළේය.

පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කුමාර ජයකොඩි මහතා මීට පෙර පොහොර සංස්ථාවේ ටෙන්ඩර් විෂය භාර කළමනාකරු වශයෙන් කටයුතු කළ සමයේ සිදුවූ දූෂණයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් පවත්වා ඇති බවයි. එම විමර්ශන අවසානයේ අමාත්‍යවරයාට එරෙහිව අධි චෝදනා ගොණු කිරීමට තීරණය කර තිබුණද, වර්තමානයේ පවතින දේශපාලන බලය යොදාගනිමින් එම නඩු කටයුතු ඉදිරියට ගෙනයාම වළක්වා ඇති බව අජිත් පෙරේරා මහතා වැඩිදුරටත් විස්තර කළේය.

මෙම ටෙන්ඩර් දූෂණය හේතුවෙන් කුමාර ජයකොඩි මහතාට සිය රැකියාව අහිමි වූ බවත්, ඒ සම්බන්ධයෙන් ඔහු අධිකරණය හමුවට ගියද ඔහු වරදකරු බව සනාථ වී නඩුව පරාජයට පත් වූ බවත් මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය. 

එවැනි බරපතල අපරාධමය විමර්ශනයකට ලක්ව සිටින පුද්ගලයෙකු රටේ ආර්ථිකයෙන් තුනෙන් එකක වගකීමක් දරන බලශක්ති අමාත්‍ය ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද වගකිව යුතු බව ඔහු අවධාරණය කළේය.

මෙම චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ විපක්ෂය පදනම් විරහිත බොරු සමාජගත කිරීමට උත්සාහ කරන බවයි. 

තමා සේවයෙන් නෙරපා ඇති බවට කරන ප්‍රකාශ අසත්‍ය බවත්, තමා එම සේවය ස්වේච්ඡාවෙන් අතහැර පැමිණි බවත් අමාත්‍යවරයා පැවසීය. 

තමා සේවයෙන් නෙරපා ඇති බවට කරන චෝදනාව ඔප්පු කරන ලෙස ඔහු විපක්ෂයට අභියෝග කළේය.

කෙසේ වෙතත්, තමා වසර 33ක පළපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු ලෙස වගකීමෙන් යුතුව මෙම කරුණු ඉදිරිපත් කරන බවත්, මෙහිදී සිදුව ඇති දූෂණය පිළිබඳව සෘජු පිළිතුරු ලබා දෙන ලෙසත් අජිත් පෙරේරා මන්ත්‍රීවරයා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

2 Comments

  1. JVP anduwak thibuna nam mehema wenne naha

    ReplyDelete
  2. ඉම්ජිනේරු පුන්න(ක්කු) ශ්‍රී (කු)මාර ජයකොඩි එළ බුවෙකි
    බටර් මාජරින් නැතුවම විදුලි බිලෙන් අපිට අරී



    ReplyDelete
Previous Post Next Post