රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාත්මක කිරිමෙහිලා සෞඛ්‍ය අමාත්‍යංශයේ අසාර්ථකත්වය හමුවේ වෛද්‍යවරුන් සහ රෝහල් පද්ධතිය අර්බුදයක.
වෛද්‍යවරුන් 23000 කට අධික ප්‍රමාණයකින් සමන්විත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කර ගෙන යනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාව වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු සිදු කිරීමට එරෙහිව සිදු කරන බවට මෑත කාලයේ අවස්ථා කිහිපයකදීම අමාත්‍යවරුන් ප්‍රධාන රජයේ පාර්ශව කිහිපයක්ම මේ වන විට අසත්‍ය ප්‍රචාරයක් ගෙන යනු අප දුටුවෙමු.
සෑම විටම නිශ්චිත පිළිගත් ක්‍රමවේදය තුල වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය ක්‍රමවත්ව සහ අඛණ්ඩව සිදු විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාවරයයි.
මේ වන විටත් වෛද්‍යවරුන් 8000 කට ආසන්න ප්‍රමාණයක් තමාට හිමි ඊලග රාජකාරි ස්ථානයට සේවයට වාර්තා කිරීමට නොහැකි වී වසර ගණනාවක් තවමත් පෙර සේවා ස්ථාන වලම රාජකාරි කරමින් සිටියි. මෙම ගැටලුවට වගකිව යුතු ප්‍රධානම පාර්ශවය වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබා දෙන නියෝගයන්ට අනුව ස්ථානමරු ක්‍රියාත්මක කරවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය අසමත් වීම තුලින් මෙම ගැටලුව පැන නැගි ඇත.
සෞඛ්‍ය අමත්‍යාංශයේ අසමත්භාවය හමුවේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය අකර්මන්‍ය වීමේ පසුබිමක සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ඉල්ලීමකට අනුව ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සඳහා පාරදෘශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමට මැදිහත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකඟ විය.
ඒ අනුව සියලු පාර්ශවයන්ගේ මැදිහත් වීමෙන් සහ එකඟතාවයෙන් ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සඳහා පාරදෘශ්‍ය සහ ක්‍රමවත් ක්‍රමවේදයක් සකස් කරන ලදී.
ඒ අනුව ස්ථානමාරු ක්‍රියාත්මක කරවීමේ සතියක් ලෙස 2026 පෙබරවාරි මස 02 වැනිදා සිට 08 වෙනිදා දක්වා වූ සතිය ප්‍රකාශයට පත් කරවමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කරන ලදී.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සේවා ඇතුලු ඇතැම් පාර්ශව ලබා දෙන වැරදි තොරතුරු මත පදනම් වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයාද වෛද්‍යවරුන් හට වරද පටවමින් සියලුම ස්ථානමාරු ක්‍රියාත්මක කරවන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලදි. පසුව ඔහු ලබා ගත් තොරතුරු වල සාවද්‍ය බව නිසාම ඉහත ප්‍රකාශය හකුලා ගනිමින් ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම එකවර සිදුනොකරන බවට නැවතත් ප්‍රකාශ කිරීමට සිදු විය.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ දුර්වල පරිපාලනය නිසා 8000 කට ආසන්න ස්ථානමාරු ප්‍රමාණයෙන් මේ වන විට ලිඛිතව ස්ථානමාරු සඳහා ලිපි ලබා දී ඇත්තේ 6% කට ආසන්න සුලු ප්‍රමාණයකට පමණක් වන අතර එහිනුත් ස්ථානමාරු නිශ්චිත වශයෙන් ක්‍රියාත්මක වී ඇත්තේ 3% කට ආසන්න වෛද්‍යවරුන් ප්‍රමාණයකගේ පමණි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙම අසමත්භාවය නිසා වෛද්‍යවරුන් රැසක් ස්ථානමාරු යා ගත නොහැකිව අපහසුතාවයට පත්ව ඇති අතර, මෙම ස්ථානමාරු ක්‍රියාත්මක නොවීම නිසා ඇතැම් රෝහල් වල සෞඛ්‍ය සේවා සැපයිම ද අඩාල වන තත්ත්වයට පැමිණෙමින් ඇත.
සෞඛ්‍ය අමාත්‍යවරයාට ද වැරදි තොරතුරු සපයමින්, ස්ථානමාරු ක්‍රියාවලිය ද අසාර්ථක කරවමින් ඒ තුලින් සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජයද අපහසුතාවයට පත් වන අන්දමින් අත්තනෝමතිකව ක්‍රියාත්මක වන වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපය පිළිබඳව අපගේ දැඩි අප්‍රසාදය පල කිරීමට කැමැත්තෙමු.
ස්ථානමාරු නිත්‍යානුකූල සහ ක්‍රමවත් ලෙස සිදු නොකරමින් තෝරාගත් ස්ථානමාරු අතලොස්සක් සඳහා පමණක් ක්‍රියාත්මක වෙමින් කටයුතු කිරීම තුල බහුතරයක් වෛද්‍යවරුන් තම මීළග සේවා ස්ථානයට පැමිණිමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව ඇත. මෙම ගැටලුවේ සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය භාර ගත යුතුය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙම අසාර්ථකත්වය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ද බලවත් අප්‍රසාදය පල කරන අතර ස්ථානමාරු ක්‍රියාවලිය නිශ්චිත ක්‍රමවේදයට යටත්ව සාර්ථක කර ගැනීම සඳහා වහාම මැදිහත් වීම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්තුමා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රමුඛ වගකීම බව අවධාරණය කරමු.

වෛද්‍යවරු එකම තැන පැලපදියං වුණාට පස්සෙ කොච්චර බල කෙරුවත් යන්නෙ නැහැ. මොකක් හරි උප්පරවැටියක් දාලා අමාත්‍යාංශයෙන් ලියුමක් අරගෙන ඇවිත් ඒක පෙන්වලා ට්‍රාන්ස්ෆර් නොවී ඉන්නවා.
ReplyDelete