මධ්‍යම අධිවේගයේ ගැටළු හොයන්න විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්..


මධ්‍යම අධිවේගී මාර්යේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ අවසාන අදියර වූ මදිටියාවල සහ කුරුණෑගල අතර සිදුවීයැයි කියන බරපතල ගැටළු ගැන සොයා බැලීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් කපිල සී. පෙරේරා මහතා අද (10)ප්‍රදේශවාසීන්ගේ නියෝජිතයන්ට දැනුම් දුන්නේය.

ලේකම්වරයා එසේ දැනුම් දුන්නේ අදාළ වන්දි නොගෙවීම සහ ප්‍රමාණවත් නොවන ලෙස වන්දි ගෙවීම සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍යංශයේදී පැවැති රැස්වීමකදී ප්‍රදේශවාසීන් පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගනිමිනි.

මීට පෙර අමාත්‍යංශ ලේකම්ව‍රයා ව සිටි මායාදුන්න මහතා මේ ගැන ⁣සොයා බැලීමට කමිටුවක් පත් කළ බවත්, පසුගිය රජය සමයේ එම කමිටු වාර්තාව නිලධාරීන් විසින් යටපත් කළ බවත්, වසර ගණනක් තිස්සේ තමන් දැඩි පීඩාවකින් සිටින බවත් ප්‍රදේශවාසීහු මෙහිදී පෙන්වා දුන්හ.

ගම්වාසීන් වෙනුවෙන් අදහස් දැක්වූ සංජීව කුලතිලක මහතා ප්‍රකාශ කළේ අදාළ කොටසේ කිසිම වන්දියක් නොලැබුණු නිවාස 152ක් තිබෙන බවයි. එසේම ප්‍රමාණවත් ⁣වන්දි මුදලක් ලබා නොදී විනිවිදභාවයකින් තොරව වන්දි ගෙවූ නිවාස 254ක් තිබෙන බවත්, ඊට අදාළ ලේඛන මානව හිමිකම් කොමිසමට සහ මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දුන්නද නිලධාරීන් ඒ තොරතුරු යටපත් කර ඇති බවත් සංජීව කුලතිලක මහතා පෙන්වා දුන්නේය.

වන්දි ගෙවීමේදී වංචා සිදුවීමට අදාළ ලේඛන ද ප්‍රදේශවාසීහු මෙහිදී ඉදිරිපත් කළහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ අදාළ කොටසේ නිවාස 33ක් ද ඇතුළුව සමස්ත නිවාස 80ක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් පරීක්ෂා කර වන්දි ලබා දෙන බවයි. අද (10) දින බරපතළ ගැටලු පෙන්වා දුන් කොටස සම්බන්ධයෙන් සොයා බැලීමට මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා සමඟ සාකච්ඡා කර විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බව ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සාකච්ඡාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලි⁣මේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා ද, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

Previous Post Next Post