ඉඩම් රාජකාරි සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත සිය පෞද්ගලික ලේකම්වරයා විසින් ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා සිය කනගාටුව පළ කර සිටියි.
ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය (SLADA) පසුගියදා චෝදනා කළේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් විවිධ අවස්ථාවලදී ලිපි නිකුත් කරමින් ඉඩම් රාජකාරිවලට බලපෑම් එල්ල කරන බවයි.
විශේෂයෙන්ම, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ක්‍රියාත්මක කළ ඉවත් කිරීමේ නියෝගයක් තාවකාලිකව අත්හිටුවන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පෞද්ගලික ලේකම්වරයා දැනුම් දී තිබුණි. මෙවැනි දේශපාලන මැදිහත්වීම් රාජ්‍ය යාන්ත්‍රණයේ විනිවිදභාවයට බාධාවක් බවට එම සංගමය ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා තිබුණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා සඳහන් කළේ සිය පෞද්ගලික ලේකම්වරයා එවැනි ලිපි නිකුත් කර ඇත්තේ බලපෑම් කිරීමේ චේතනාවකින් තොරව බවයි.
මහජනතාවගෙන් ඉදිරිපත් වූ විවිධ ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අනවබෝධය නිසා මෙවැනි තත්ත්වයක් උදා වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සිදුවූ වැරදි නිවැරදි කරමින් නිලධාරීන් සමඟ ඉතා නිවැරදිව හා සුහදශීලීව කටයුතු කිරීමට ඉදිරියේදී විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
වසර 10-15ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳී පවතින ඉඩම් ගැටලුවලට ඇතැම් නිලධාරීන්ගේ අතපසුවීම්ද හේතු වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නව රජයක් ලෙස ජනතාව අපේක්ෂා කරන සාධාරණය සහ විනිවිදභාවය තහවුරු කිරීමට නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවට සහතික විය.

බලේ ඇති විට මොළේ නැත.🤣🤣🤣
ReplyDelete