පෙරපාසල් දරුවන්ට අකුරු ලියවීමෙන් බුද්ධිමය ධාරිතාව පටු ෙවනවා..- ඇමතිනී සරෝජා


පෙරපාසල් දරුවන්ට බලහත්කාරයෙන් අකුරු ලියවීමට උත්සාහ කිරීමෙන් ඔවුන්ගේ බුද්ධිමය ධාරිතාව පටු වන බවත්, පෙරපාසල් අධ්‍යාපනය යනු අකුරු හා වාක්‍ය ලිවීමට හුරු කිරීම නොවන බවත් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය අවධාරණය කරයි.

පෙරපාසල් විෂය පථය රජයේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් යටතට ගෙන ඒම අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරිය පවසයි. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සමඟ එක්ව සියලුම පෙරපාසල් සඳහා එක් ක්‍රමවේදයක් හා ප්‍රතිපත්තියක් සහිත වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බව ඇය පෙන්වා දෙයි. මෙය හුදෙක් පෞද්ගලික අංශයට පමණක් තීරණ ගැනීමට ඉඩ දිය නොහැකි, රටක ජාතික අවශ්‍යතාවයක් බව ද ඇය සඳහන් කළාය.

පෙරපාසල් අධ්‍යාපනය යනු දරුවා අවිධිමත් අධ්‍යාපනයේ සිට විධිමත් පාසල් අධ්‍යාපන පද්ධතියට ගැලපෙන ලෙස සකස් කරන සමගාමී තලයක් විය යුතුය. එහිදී වැදගත් වන්නේ සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් අකුරු හා වාක්‍ය ලියවීම නොව, දරුවාගේ කුසලතා වර්ධනය කරන ක්‍රියාකාරකම් පාදක කරගත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම බව අමාත්‍යවරිය අවධාරණය කරයි.

බොහෝ විට පෙරපාසල්වලදී දරුවාගේ අත මිරිකා, අකුරු රවුම් කිරීමට උත්සාහ කිරීමෙන් දරුවාගේ බුද්ධිමය ධාරිතාව හැකිලීමක් සිදුවන බව අමාත්‍යවරිය පෙන්වා දෙයි. 

"අකුරු ලියවනවාට වඩා දරුවාගේ ඇඟිලි තුඩුවල සුහුරු බව වැඩි කරන කඩදාසි රෝල් කිරීම, පින්සල සහ පාට කූරු හැසිරවීම වැනි ක්‍රියාකාරකම් තුළින් මොළයේ ධාරිතාව වර්ධනය වෙනවා," යැයි ඇය පැවසුවාය.

තම දරුවාට අකුරු ලියා ගැනීමට නොහැකි වීම පිළිබඳව දෙමාපියන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවද ඇය සඳහන් කරයි. දරුවෙකු අනාගතයේදී කෙතරම් දක්ෂයෙකු වේද යන්න තීරණය වන්නේ ඔහු අද ලියන අකුර මත නොව, පෙරපාසල් අවධියේදී ලබන නිදහස් ක්‍රියාකාරකම් තුළින් ගොඩනැගෙන ප්‍රභාමත් මනස මත බව ඇය වැඩිදුරටත් කියා සිටියාය

2 Comments

  1. එහෙමනම් කටානායක ගාවට යවමුද?

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත. 12 පන්තිය ඉවර වෙනකන් අකුරු කියවන්න උගන්නන්න එපා. නැතිනම් උන් අපේ බත් මුට්ටි උස්සපු අතීතේ ඉගෙනගන්නවා.

      Delete
Previous Post Next Post