විශේෂඥ වෛද්‍යවරු කොළඹ බුරුතු පිටින්.. වැඩ බලන ලේඛන වල හැංගිලා..

 


සෑම වෛද්‍යවරයෙකුටම සමාන ලෙස ස්ථාන මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතු වුවද, ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදයට ඇතුළත් නොවී අමාත්‍යාංශ හිතවත්කම් මත කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පමණක් සීමා වී කටයුතු කරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.

එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ ප්‍රජා සෞඛ්‍ය, පවුල් සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණ හා පෝෂණවේදය වැනි ක්ෂේත්‍රවල නිරත ඇතැම් වෛද්‍යවරුන් මෙලෙස වසර ගණනාවක් කොළඹට වී සේවය කරන බවයි. මෙහි සෘජු බලපෑම හේතුවෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලවලට අදාළ විශේෂඥ සේවාවන් නිසි පරිදි නොලැබී යන බව ද ඔහු සඳහන් කළේය.

මෙම වෛද්‍යවරුන් වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවට ඇතුළත් නොවී, දිගින් දිගටම 'වැඩබලන' තනතුරු දැරීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පද්ධතිය මගින් ඔවුන් ස්ථාන මාරුවලට ලක් නොවන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

"දිවයිනේ දිස්ත්‍රික්ක 25 සඳහාම ප්‍රජා සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණ ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් වෙන වෙනම අනුයුක්ත කළ යුතු වුවත්, බොහෝ දිස්ත්‍රික්කවලට එම සේවාව අහිමි වී තිබෙනවා. මේ නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට තම විෂය පථය යටතේ කටයුතු කිරීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබෙනවා."

මීට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් රෝහල්වල අනුමත සීමාව ඉක්මවා උප විශේෂඥ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩල රඳවාගෙන සිටින බවට ද ඔහු චෝදනා කළේය.

විදේශ පුහුණුව නිම කර මෙරටට පැමිණෙන ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් වසර ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා නොකර සිටීම හෝ වැඩබලන පත්වීම් මත කොළඹ අවටම රැඳී සිටීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්විය යුතු බව වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කළේය.

පුද්ගලික අවශ්‍යතා මත ස්ථාන මාරු ක්‍රියාත්මක කරනවා වෙනුවට, සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කර සෑම වෛද්‍යවරයෙකුටම සාධාරණ කාලසීමාවකදී ස්වයංක්‍රීයව ස්ථාන මාරු ලැබෙන විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් වහාම සකස් කළ යුතු බව ද සභාපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Previous Post Next Post