රජයේ අරමුණ හුදෙක් යුද ගැටුම් නොමැති වීම පමණක් නොව, සෑම පුරවැසියෙකුටම ගෞරවයෙන් ජීවත් විය හැකි, සාධාරණත්වය ඉටු වන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලයේ (ONUR) වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම සහ "පූර්ව අනතුරු ඇඟවීමේ සහ පූර්ව ප්‍රතිචාර දැක්වීමේ" (EWER) පද්ධතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අද දවස අපේ රටේ සංහිඳියාව පිළිබඳ ගමනේ ඉතා වැදගත් හැරවුම් ලක්ෂයක්. අපි අද මෙතැනට රැස්වී සිටින්නේ 2024 අංක 1 දරන පනත මගින් ස්ථිර ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් කළ ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය (ONUR) වඩාත් නවීන හා තාක්ෂණික මෙවලම්වලින් සන්නද්ධ කරන්නයි.
අපේ රජයේ අරමුණ වෙන්නේ හුදෙක් යුද ගැටුම් නොමැති වීම පමණක් නොව, සෑම පුරවැසියෙකුටම ගෞරවයෙන් ජීවත් විය හැකි, සාධාරණත්වය ඉටු වන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමයි. ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය ආයතනය " යුද ගැටුම් නොමැති වීම" යන තත්ත්වයෙන් ඔබ්බට ගොස්, සැබෑ සාමය ස්ථාපිත කිරීම සඳහා අංශ කිහිපයකින් ක්‍රියාත්මක වෙනවා. ප්‍රජාවන් අතර ආතතීන් ඇතිවිය හැකි ස්ථාන හඳුනාගෙන, ඒවා ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය වීමට පෙර විසඳීමට මැදිහත් වීම නව පූර්ව අනතුරු ඇඟවීමේ සහ පූර්ව ප්‍රතිචාර දැක්වීමේ පද්ධතිය මෙහි ප්‍රධාන කොටසක් ලෙස හැදින්විය හැකියි. අද දින විශේෂම අවස්ථාව වන්නේ පූර්ව අනතුරු ඇඟවීමේ සහ පූර්ව ප්‍රතිචාර දැක්වීමේ පද්ධතිය නිල වශයෙන් දියත් කිරීමයි. අතීතයේදී අප බොහෝ විට කටයුතු කළේ වාර්ගික හෝ ආගමික ගැටුම් ඇති වූ පසුවයි. රජය මැදිහත් වන විට බොහෝ විට සිදුවිය යුතු හානි සිදුවී හමාරයි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය දියත් කරන මෙම පද්ධතිය එම තත්ත්වය වෙනස් කරනු ඇත. ක්ෂණික දත්ත තුළින් ඩිජිටල් නිරීක්ෂණ සහ ප්‍රජා වාර්තාකරණය හරහා, ගැටුමක් ඇති වීමට පෙර එම ස්ථාන හඳුනා ගැනීමට අපට හැකියාව ලැබෙනවා. අනතුරු ඇඟවීමක් ලැබුණු සැණින්, ප්‍රදේශයේ ආගමික නායකයින්, සිවිල් සංවිධාන සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඒකාබද්ධ කරමින් "පූර්ව ප්‍රතිචාර" දැක්වීමට අපට පුළුවන්. මෙහිදී දත්ත ආරක්ෂාව සහ පුද්ගල නිදහස ආරක්ෂා කිරීමට අපි දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට මාගේ විශේෂ ස්තූතිය හිමිවිය යුතුයි. ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී, එම තාක්ෂණය මිනිසුන් බෙදා වෙන් කිරීමට නොව, මිනිසුන් එකතු කිරීමට යොදාගත යුතු බව අපගේ විශ්වාසයයි. . ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ලබා දුන් තාක්ෂණික සහාය තුළින් අප තහවුරු කරන්නේ නවීන තාක්ෂණය යනු සාමයේ ආරක්ෂකයා බවයි..
ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය ආයතනය පසුගිය කාලය පුරාවටම "සුවපත් සමාජයක්, We Sri Lankans" වැනි වැඩ සටහන් හරහා සහ "යකාවැවට නන්දිකඩාල්" වැනි කලාත්මක නිර්මාණ හරහා ජන හදවත් ස්පර්ශ කළා. නමුත් මේ වැඩසටහන් පිළිබඳ තොරතුරු සහ ආයතනයේ ප්‍රගතිය විනිවිදභාවයකින් යුතුව මහජනයා වෙත ගෙන යාමට අපට ශක්තිමත් ඩිජිටල් වේදිකාවක් අවශ්‍ය වුණා. ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය දියත් කරන යාවත්කාලීන කළ වෙබ් අඩවිය හරහා උතුරේ සිට දකුණ දක්වා ඕනෑම අයෙකුට තමන්ගේ භාෂාවෙන් තොරතුරු ලබාගත හැකියි. සාමය, සහජීවනය සහ සංවර්ධන ව්‍යාපෘතිවල වර්තමාන තත්ත්වය සජීවීව නිරීක්ෂණය කළ හැකියි. තරුණ පරපුරට සහ සිවිල් සංවිධානවලට ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට සෘජුවම දායක වීමට ඉඩකඩ ලැබෙනවා. ජාතික සමගිය යනු ලේඛනවලට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. එය අපේ දෛනික ජීවිතය තුළ ගොඩනැගිය යුතු දෙයක්. ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය ශක්තිමත් කිරීම තුළින් අපි බලාපොරොත්තු වන්නේ විවිධත්වය ශක්තියක් කරගත්, කිසිවෙකු අමතක නොකරන ශක්තිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමයි.
2024 අංක 1 දරන පනත මගින් සථිර ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් වූ ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය, "යුද ගැටුම් නොමැතිවීම" යන තත්ත්වවයන් ඔබ්බට සෑම පුරවැසිවයෙකුටම ව ගෞරවයෙන් සහ සාධාරණත්වවයන් ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය, ගැටුම් වැළැක්වීම සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවයි.
ඩිජිටල් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජාතික සමඟිය හා ප්‍රතිසන්ධනය සඳහා වු කාර්යාලයේ සභාපති, විජිත් රොහාන් ප්‍රනාන්දු, එහි අධ්‍යක්ෂ ජනරාල් සඳුනි ආරියවංශ යන මහත්ම මහත්මීන් මෙහිදී අදහස් පළ කළ අතර, ජාතික සමඟිය හා ප්‍රතිසන්ධානය සඳහා වු කාර්යාලය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය, හානි පුර්ණ කාර්යාල නිලධාරීන් සහ සහජීවන සංගම් නියෝජිතයින් මෙම අවස්ථාවට එක්විය.
