රජය විසින් මෑතකදී සිදුකළ තැපැල් ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් මෙරට තැපැල් සේවාව සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක් පවතින බව ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අනතුරු ඇඟවීමක් කළේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේ, රුපියල් 50ක්ව පැවති අවම තැපැල් ගාස්තුව රුපියල් 70ක් දක්වා ඉහළ නැංවීමට රජය ගත් තීරණය, තැපැල් දෙපාර්තමේන්තුව ක්‍රමයෙන් අඩපණ කර වසා දැමීමේ සූදානමක් බවයි.
තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියා සුරක්ෂිත කිරීමටත්, පොදු සේවාවක් ලෙස එහි පැවැත්ම තහවුරු කිරීමටත් රජය කළ යුතුව තිබුණේ ගාස්තු අඩු කිරීම බව ඔහු පෙන්වා දුන්නේය.
ගාස්තු ඉහළ දැමීම හරහා ජනතාව තවදුරටත් SMS, MMS සහ WhatsApp වැනි ඩිජිටල් සන්නිවේදන ක්‍රම වෙත යොමු වනු ඇති බවත්, එමඟින් සම්ප්‍රදායික තැපැල් සේවාවට ඇති ඉල්ලුම වේගයෙන් පහත වැටෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම තීරණය තැපැල් පද්ධතියේ පරිහානිය වේගවත් කිරීමට හේතුවන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
