වර්තමාන ගල්අඟුරු ආනයන ක්‍රියාවලිය දැඩි දූෂණයකට ලක්ව ඇති බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි.
මීට පෙර තමන් කළ අනතුරු ඇඟවීම් සනාථ කරමින්, අඩු මිලට ගෙන්වන ලද ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු, කලින් ගබඩා කර තිබූ ඉහළ ප්‍රමිතියෙන් යුත් තොග සමඟ මිශ්‍ර කර භාවිත කරන බවට තොරතුරු ලැබී ඇතැයි හෙතෙම අනාවරණය කළේය.
මෙම ටෙන්ඩර් පටිපාටිය තුළ පවතින අක්‍රමිකතා පිළිබඳව මන්ත්‍රීවරයා මෙහිදී කරුණු කිහිපයක් පෙන්වා දුන්නේය.
ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයාට එහි අසුන් ගැනීමට නීතිමය හැකියාවක් නොමැති බැවින්, තීරණ ගැනීමෙන් පසු ඉවත් වීමේ උපක්‍රමශීලී පිළිවෙතක් අනුගමනය කරන බවට ඔහු චෝදනා කළේය.
මෙරටට ළඟා වූ පළමු නෞකාව ප්‍රමාද වී පැමිණි අතර, එහි අඩංගු වූයේ බාල ගල්අඟුරුය. එමෙන්ම තෙවන සහ සිව්වන නෞකාවලින් ගෙනා තොග ද ප්‍රමිතියෙන් තොර බව තහවුරු වී ඇත.
ප්‍රමිතිය බාල වීම හේතුවෙන් ඩොලර් මිලියන දෙකක දඩයක් පැනවූ බව අමාත්‍යාංශය පැවසුවද, එමඟින් විදුලි උත්පාදන පද්ධතියට සිදුවූ දැවැන්ත පාඩුව පියවා ගැනීමට අපොහොසත් වී ඇති බව මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.
අදාළ විෂය භාර අමාත්‍යවරයා සිය ලේකම්වරයා සමඟ පවා සහයෝගයෙන් කටයුතු කිරීමට නොදන්නා අයෙකු බවත්, ඔහු මීට පෙර පොහොර සංස්ථාවේ සේවය කළ සමයේද වංචා චෝදනා මත ඉවත් කරන ලද්දෙකු බවත් මන්ත්‍රීවරයා සිහිපත් කළේය.
රජය හිතාමතාම ගල්අඟුරු හිඟයක් මවාපාමින් විදුලිය කපා හැරීමට උත්සාහ කරන බවටද ඔහු සැක පළ කළේය.
තමන්ට බලය ලබාගැනීමේ අවශ්‍යතාවක් පවතින මුත්, පෝලිම් යුගයක් නිර්මාණය කර ජනතාව පීඩාවට පත්කරමින් බලය අල්ලා ගැනීමේ පහත් අරමුණක් විපක්ෂයට නොමැති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
