ලෝක කුසලාන තරග බලන ක‍්‍රීඩා ලෝලීන්ට තහනම් භාණ්ඩ ලයිස්තුවක්...

 


2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

මෙම තරගාවලිය 2026 පෙබරවාරි මස 07 වන දින සිට මාර්තු 08 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් මෙම තරග නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, තරග පැවැත්වෙන දිනයන්හිදී කොළඹ රථවාහන කොට්ඨාසය විසින් පහත පරිදි රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබයි.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ආශ්‍රිත රථවාහන සැලැස්ම

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන දිනයන්හිදී වින්සන්ට් පෙරේරා මාවත (ග්‍රෑන්ඩ්පාස් පාර), බ්‍රීටෝ බබාපුල්ලේ පාලම හන්දිය, සෙබස්තියන් ඇළ පාර (මැල්වත්ත පාලම අසලින්), අඩි 100 පාර සහ සද්ධර්ම මාවත ඇතුළු මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කෙරෙනු ඇත.

විශේෂයෙන් පෙබරවාරි 08 (ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය), 15 (ඉන්දියාව සහ පාකිස්ථානය) සහ 19 (ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ) යන දිනවල පැවැත්වෙන තරග සඳහා විශේෂ රථවාහන සැලැස්මක් සහ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක වේ. මෙම දිනවල පැමිණෙන ප්‍රේක්ෂකයින් සඳහා පැරණි MOD රථගාල සහ පෝට්සිටි (Port City) රථගාලේ සිට ක්‍රීඩාංගනය දක්වා විශේෂ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම පෙබරවාරි 11, 13, 21, 25 සහ 27 යන දිනවල පැවැත්වෙන තරග සඳහා ග්‍රෑන්ඩ්පාස් මැටිපාක්, සතොස, සෙබස්තියන් ඇළ, කෝවිල පාර සහ අඩි 100 පාර දෙපස රථගාල් පහසුකම් සපයා තිබේ.

SSC ක්‍රීඩාංගනය ආශ්‍රිත රථවාහන සැලැස්ම

SSC ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන පෙබරවාරි 07, 09, 10, 14 සහ 18 යන දිනවලදී රාජ්‍ය පරිපාලන හන්දිය, මෙට්ලන්ඩ් පෙදෙස සහ විද්‍යා මාවත ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කෙරේ.

මෙම තරග සඳහා පැමිණෙන රථවාහන ගාල් කිරීමට නිදහස් මාවත, පදනම් ආයතන මාවත, CR&FC, SSC ක්‍රීඩා සමාජ රථගාල, ක්‍රීඩා අමාත්‍යාංශයේ පරණ මැක්ඩොනල්ඩ් රථගාල, රූපවාහිනී රථගාල සහ BMICH පරිශ්‍රය වෙන් කර ඇත.

තරගාවලිය සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක් යොදවා ඇති බව පොලිසිය පවසයි. මීට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් ද ආරක්ෂක කටයුතු සඳහා යොදවනු ලබයි.

විශාල ප්‍රමාණයේ ගමන් මලු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, මුවහත් පිහි, මත්ද්‍රව්‍ය සහ මත්පැන් ක්‍රීඩා භූමිය තුළට රැගෙන ඒම සපුරා තහනම් බව පොලිසිය මහජනතාවට දැඩිව අවධාරණය කරයි.





Previous Post Next Post