CID ලොක්කාගේ නමින් අන්තර්ජාල ජංජාලයක්..


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින්, මහජනතාව නොමග යවන සුළු විද්‍යුත් තැපැල් (E-mail) පණිවිඩයක් මේ දිනවල සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව මෙම පණිවිඩ යොමු කිරීම සඳහා noucinatacha20@gmail.com සහ police.cid.lk@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයන් භාවිතා කර ඇත.

මහජනතාව රැවටීම, මුදල් වංචා කිරීම හෝ පුද්ගලික තොරතුරු සොරකම් කිරීම මෙම වංචනික ක්‍රියාව පිටුපස ඇති ප්‍රධාන අරමුණු බවට සැක කෙරේ.

මෙම ව්‍යාජ පණිවිඩවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ශානි අබේසේකර යන නම සඳහන් කර තිබේ.

අදාළ පණිවිඩය කිසිසේත්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යොමු කරන ලද්දක් නොවන බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, අදාළ ව්‍යාජ පණිවිඩවල සඳහන් අන්තර්ගතයන්ට ප්‍රතිචාර දැක්වීමෙන් හෝ තම පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වැළකී සිටින ලෙසයි.

මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන් හෝ කණ්ඩායම් අනාවරණය කර ගැනීම සඳහා සහ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇත



Previous Post Next Post