නොරොච්චෝල බලාගාරයට මෙතෙක් ආනයනය කරන ලද ගල් අඟුරු නැව් 11 හිම ප්‍රමිතිය පිළිබඳ බරපතල ගැටලු පවතින බවත්, එම හේතුවෙන් බලාගාරයේ ජනන යන්ත්‍රවලින් ලබාගත හැකි උපරිම මෙගාවොට් 300ක ධාරිතාව ලබාගැනීමට නොහැකි වී ඇති බවත් බලශක්ති විශේෂඥ විදුර රලපනාව මහතා පවසයි.
මේ වන විට ලැබී ඇති නැව් 11 හි පවතින ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් විදුලිය උත්පාදනයට බාධා පැමිණ ඇති අතර, ඒ හරහා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 8.5ක (මිලියන 8500ක) පාඩුවක් සිදුව ඇති බව මහජන උපයෝගිතා කොමිසම ද අනාවරණය කර ඇත.
සැලසුම් කර තිබූ පරිදි නැව් 16ක් මෙරටට පැමිණිය යුතු වුවද, මේ වන විට පැමිණ ඇත්තේ නැව් 11ක් පමණි. ඒ අනුව ඉදිරියේදී නැව් 5ක් හෝ 6ක් පමණ මෙරටට නොලැබී යාමේ අවදානමක් පවතී.
සාමාන්‍යයෙන් එක් ගල් අඟුරු නැවකින් බලාගාරය ක්‍රියාත්මක කළ හැක්කේ දින 8ක් වැනි කෙටි කාලයකි. යම් හෙයකින් නැව් 5ක් හිඟ වුවහොත් බලාගාරයේ පවතින ජනන යන්ත්‍ර තුනම දින 40ක කාලයකට සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීමට සිදුවේ.
එහෙත් මුළු බලාගාරයම එලෙස අක්‍රිය කිරීම පද්ධතියට දරාගත නොහැකි බැවින්, විකල්පයක් ලෙස එක් ජනන යන්ත්‍රයක් පමණක් දීර්ඝ කාලයක් අක්‍රිය කර තැබීමට සිදුවනු ඇත. ඒ අනුව එම දින 40ක කාලය එක් යන්ත්‍රයකට පමණක් අදාළ කර ගණනය කළ විට, එම යන්ත්‍රය මාස හතරක (දින 120ක) කාලයක් අක්‍රිය කර තැබීමට සිදුවන බව ඔහු විස්තර කරයි.
ගතවූ දිනයේ විදුලි උත්පාදනය අපේක්ෂිත මෙගාවොට් 810 ක ඉලක්කයට වඩා විශාල ලෙස පහත වැටී ඇති බව වාර්තා වේ. ඒ අනුව උදෑසන කාලයේදී මෙගාවොට් 650 ක් (මෙගාවොට් 160 ක හිඟයක්) සහ සන්ධ්‍යා කාලයේදී මෙගාවොට් 620 ක් (මෙගාවොට් 190 ක හිඟයක්) ලෙස ජනනය සටහන් විය. ගල් අඟුරු සම්බන්ධ නොවන අලුත්වැඩියාවක් සඳහා පළමු ජනන යන්ත්‍රය (Unit 1) ඊයේ රාත්‍රියේ අක්‍රිය කිරීමට ද සිදුව ඇත.
විදුලිබල මණ්ඩලයේ දත්තවලට අනුව ජනන යන්ත්‍රවල පවතින ධාරිතාව මෙසේය.
පළමු යන්ත්‍රය : මෙගාවොට් 226 (මෙගාවොට් 64 ක අඩුවක්)
දෙවන යන්ත්‍රය : මෙගාවොට් 205 (මෙගාවොට් 65 ක අඩුවක්)
තෙවන යන්ත්‍රය : මෙගාවොට් 194 (මෙගාවොට් 76 ක අඩුවක්)
ගල් අඟුරු හිඟය පියවා ගැනීම සඳහා ඉදිරියේදී ඩීසල් මගින් විදුලිය උත්පාදනය කිරීමට සිදුවන අතර, ඒ සඳහා වැය වන අධික පිරිවැය අවසානයේ බදු මුදල් හෝ විදුලි බිල හරහා ජනතාවටම දැරීමට සිදුවනු ඇතැයිද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය

මේවා නොරොච්චෝලේ හදපු නිසයි මේ ප්‍රශ්න, නැද්ද හා?
ReplyDelete