ඉන්ධන මිල වැඩි කරන්න.. ඩීසල් ලීටරයකින් 240 ක්.. පෙට්‍රල් ලීටරයකින් 120 ක් පාඩුයි..- සමාගම් රජයට දැනුම් දේ..

 ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට කටයුතු නොකිරීම නිසා ඩීසල් ලීටරයකින් රුපියල් 240 ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 120 ක් පාඩු ලබන බව ඉන්ධන බෙදාහරින පෞද්ගලික සමාගම් සඳහන් කරයි.

මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ ඔක්ටේන් 92 ඉන්ධන ලීටරයක මිල සියයට 55 කින්ද, ඔක්ටේන් 95 සියයට 65 කින්ද, ඩීසල් සියයට 74 කින්ද, බොරතෙල් සියයට 40 කින්ද ඉහළ යාම මෙම ඉල්ලීමට හේතුවී තිබේ.

මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවා යාම, ඩොලරයේ වටිනාකම ක්‍රමයෙන් ඉහළ යාම, හෝමූස් සමුද්‍ර සන්ධියෙන් ඉන්ධන ප්‍රවාහනය කිරීමේ බාධාවන්, රක්ෂණ හා නැව් ගාස්තු ඉහළ යාම යනාදී කාරණා මත අනිවාර්යයෙන්ම ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවට එම සමාගම් පවසයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඉකුත් බ්‍රහස්පතින්දා (19 වැනිදා) ඇමරිකානු ඩොලර් 118 ක් දක්වා ඉහළ ගියේය. කෙසේ නමුත්, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 ත් 115 ත් අතර අගයක වෙනස් වෙමින් පවතියි.


පෞද්ගලික සමාගම් විසින් මේ වනවිට ආනයනය කරන එක ඉන්ධන නැවකින් ඇමරිකානු ඩොලර් මිලියන 55 ක පාඩුවක් ලබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ඉකුත් සිකුරාදා (20 වැනිදා) පැවසුවේය.

ලොව පුරා රටවල් මේ වනවිට ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධව තීරණයක් ගෙන තිබෙන බවත්, ඒ අනුව එම රටවල් ආසන්න වශයෙන් සියයට 6 සිට 50 දක්වා තෙල් මිල වැඩිකර ඇතැයිද ඔහු කීවේය. 

මෙරට ඉන්ධන මිල සියයට අටකින් (8%) ඉහළ දැමූවද ලෝකයේ ඉන්ධන මිල සියයට 49 ක් දක්වා වැඩිවී තිබෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඉකුත් 09 වැනිදා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25 කින්ද, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින්ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24 කින්ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 13 කින්ද ඉහළ දැමීමට කටයුතු කෙරුණි.

මෙරට ඉන්ධන සැපයීම ගත්විට සියයට 57 ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්ද, ඉතිරි සියයට 43 පෞද්ගලික සමාගම් විසින්ද සිදුකරන බවද ජනාධිපතිවරයා කීවේය.

එක ඩොලරයකින් තෙල් මිල වැඩිවුණොත් රුපියල් 2කින් මෙරට තෙල් මිල වැඩිවන බවත්, සූත්‍රය එය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අපනයන කර්මාන්තකරුවන්ට ඉන්ධන ගැටලුවකින් තොරව සැපයීම සඳහා ඉන්ධන ගබඩා කිරීමට (Oil Bankering) සමාගම් පහකට අවස්ථාව ලබාදී ඇති අතර, එම සමාගම් පහට අදාළ ඉන්ධන වෙළෙඳ පොළට නිකුත් කිරීමට නොහැකි අතර, ඒවා ලබාදීමට අවස්ථාව තිබෙන්නේ අපනයන කර්මාන්තකරුවන්ට පමණි. කෙසේ නමුත්, මෙම ඉන්ධන තොග නිකුත් කිරීම සිදුවන්නේද අධික මිල ගණන්වලට බව පැවසේ.

මේ අතර, නොරොච්චෝලේ බලාගාරයෙන් දෛනිකව ජනනය කෙරෙන විදුලි ධාරිතාවය අඩුවීම හේතුවෙන් වැඩි වශයෙන් ඩීසල් යොදාගෙන විදුලිය ජනනය කිරීමට සිදුවී ඇතැයි පැවසේ. මෙලෙස ඩීසල්වලින් විදුලිය ජනනය කිරීමේදී දිනකට බවුසර් 80 ක පමණ ඩීසල් යොදා ගැනීමට සිදුවී ඇතැයි අනාවරණය වේ.

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිත කිරීම නිසා සිදුවී තිබෙන විදුලි ජනන පාඩුව පියවා ගැනීමට ඉදිරි දිනවලදී ඉන්ධන ලීටර් කෝටි හතක් වැඩිපුර වැය කිරීමට සිදුවනු ඇතැයි විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ අවසන් සැසිවාරයේදී හිටපු විදුලි බල ඇමැතිවරයකු වූ පාඨලී චම්පික රණවකද පවසා සිටියේය.

මෙරටට ඇණවුම් කර තිබෙන ඉන්ධන තොග සම්බන්ධවද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

“මාර්තු මාසේ 24 සහ 25 අපිට බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක නැවක් එන්න තිබුණා. අපිට බොරතෙල් එන්නේ ෆුජයිරා වරායෙන්. නමුත් ඔබ දන්නවා ෆුජයිරා වරායට සිදුවූ විපත. තව එන්න තිබුණා මෙට්‍රික් ටොන් 90,000ක නැවක් ඒක එන්නෙත් නෑ. බොරතෙල් නැව් ටික නොලැබීම තමයි අපිට ප්‍රශ්න මතුවෙන්න පුළුවන් තැන්. ඒ අනුව මාර්තු 5 වැනිදා අපි ටෙන්ඩරයක් කෝල් කළා. ඒ ටෙන්ඩරය මේ 17 වැනිදා විවෘත කළා. අපි 5 වැනිදා කෝල් කරපු ටෙන්ඩරය ඩීසල්, පෙට්‍රල්, දැවිතෙල් ජෙට් A1 සහ බොරතෙල් නැව් 2කට. ඩීසල් නැවකට අපි ටෙන්ඩරය ප්‍රදානය කළා අප්‍රේල් 6-7 එනවා, පෙට්‍රල් එකක් අපි ප්‍රදානය කළා අප්‍රේල් 16-17 එනවා, දැවිතෙල් එකක් ප්‍රදානය කළා අප්‍රේල් 12,13 එනවා, ජෙට් A1 එකක් ප්‍රදානය කළා අප්‍රේල් 10,11 එනවා. මේ ටෙන්ඩරයේම දිගුවක් හැටියට 18 වැනිදාත් අපි නැවත ඩීසල් ඒකට ප්‍රදානය කළා ඒක අපිට ලබා දෙන්න එකඟතාව පළ කරලා තියෙනවා අප්‍රේල් 7,8 වගේ’’

කෙසේ නමුත්, ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පනත අනුව ඉන්ධන මිල වැඩි කිරීමට සමාගම්වලට අවසරය ලබාදී තිබෙන බවත්, කෙසේ නමුත්, උපරිම මිල තීරණය කරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බවට පනතේ සඳහන් බවය.

මැද පෙරදිග ඇතිවී තිබෙන යුදමය තත්ත්වය සමග රට තුළ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඉකුත් සිකුරාදා (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස ද කියා සිටියේ ඉදිරියේදීත් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල වැඩිවීම අනුව ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට සිදුවනු ඇති බවත්, එම කටයුතු කෙරෙන කාලය සහ මිල කාටවත් කිව නොහැකි බවත්, ලෝකයේ සමහර රටවල් ඉන්ධන මිල දිනපතා වැඩි කරමින් සිටින බවත්, ඇතැම් රටවල් සතියකට දෙතුන් වර වැඩි කරමින් සිටින බවද ඔහු කීවේය.

මේ අතර, විපක්ෂය කියා සිටින්නේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන ලීටරයක මිල රුපියල් 500 ඉක්මවා යනු ඇති බවයි. 

Aruna

1 Comments

  1. ලෝක පච! පෙට්‍රල් ලීටරයක් රුපියල්වලින් 320යි, ඩීසල් රුපියල්වලින් 350යි ලෝක වෙළදපොලේ. වෙන ලෝකෙක වෙළදපොලක මිල ගණන් කියවනව වගේ සමාගම් පකයො

    ReplyDelete
Previous Post Next Post