පකිස්තානය ඉන්ධන රුපියල් 55කින් මිල වැඩි කරයි..

 


පකිස්ථානය, එරට ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට පියවර ගෙන ඇත. ඒ අනුව පැට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල පකිස්ථාන රුපියල් 55කින් ඉහළ දමා ඇත.

මෙම මිල සංශෝධනයත් සමඟ පකිස්ථානයේ පැට්‍රල් ලීටරයක නව මිල රුපියල් 321.17ක් වන අතර ඩීසල් ලීටරයක් රුපියල් 335.86ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පකිස්ථාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් මෙම බලපෑම පාරිභෝගිකයාට පැවරීම හැර රජයට වෙනත් විකල්පයක් නොවූ බවයි.

පසුගිය පෙබරවාරි 28 වැනිදා ඉරාන භූමියට එල්ල වූ ඒකාබද්ධ එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වීමත් සමඟ කලාපීය නොසන්සුන්තාව උත්සන්න විය. ඉරානය විසින් ඊට ප්‍රතිචාර වශයෙන් එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් ගෝලීය තෙල් සැපයුම් මාර්ගවලට බාධා එල්ල වීමේ අවදානමක් මතුව තිබේ. මීට අමතරව, ණය බරින් මිරිකී සිටින පකිස්ථානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඉන්ධන මිල වහාම ඉහළ නංවන ලෙස බලපෑම් කර ඇති බව ද මූලාශ්‍ර පෙන්වා දෙයි.

මිල ඉහළ දැමීමේ නිල නිවේදනය නිකුත් වීමටත් පෙර ලාහෝර් සහ කරච්චි වැනි ප්‍රධාන නගරවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි.

ඇතැම් වෙළඳුන් ඉන්ධන සඟවා තැබීමට උත්සාහ කරන බවට වාර්තා වූ අතර, එවැනි පිරිස්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අනතුරු ඇඟවීමක් කර ඇත.

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී ප්‍රවාහන ගාස්තු සහ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ද ඉහළ යනු ඇති බවයි.

Previous Post Next Post