නාදුනන යාත‍්‍රා ළගටවත් යන්නෙපා..- මෙරට ධීවරයන් පණිවුඩයක්..


ගල්ෆ් කලාපයේ පවතින යුදමය වාතාවරණය හා ගාල්ලට නුදුරු ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේදි ඉරාන නෞකාවක් ප්‍රහාරයට ලක්කර මුහුදු බත් කිරීමේ සිදුවීම මත ධීවර රැකියාවට ගොස් සිටින මෙරට බහුදින යාත්‍රා සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමුකර තිබේ
.

මේ වනවිට බහුදින යාත්‍රා 2000 ත් 2500 ත් අතර ප්‍රමාණයක් බෙංගාල බොක්ක, කොකෝස් දූපත් දක්වා වූ ඉන්දියන් සාගරය, සීෂෙල්ස් රාජ්‍යයට ආසන්න ජාත්‍යන්තර මුහුද සහ අරාබි මුහුද ඇතුළු ඉන්දියන් සාගරයේ දෛනිකව ධීවර රැකියාවේ නිරතවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සඳහන් කරයි.

පවතින තත්ත්වය හේතුවෙන් කිසිදු ධීවර යාත්‍රාවකට මෙතෙක් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත් යුදමය ක්‍රියාකාරකම් නිශ්චිත ඉලක්ක පදනම් කරගෙන සිදුවන බැවින් සිය ධීවර යාත්‍රාවලට ඉන් තර්ජනයක් නොමැති බව නිරීක්ෂණය වන බවත් හෙතෙම කීවේය.

කෙසේ වෙතත් බහුදින ධීවර යාත්‍රාවල සිටින ධීවරයන්ට ආරක්ෂිත පියවර කිහිපයක් අනුගමනය කරන ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙන අතර ඒ අනුව සෑමවිටම සාම්ප්‍රදායිකව මසුන් අල්ලන ප්‍රදේශවල පමණක් රැකියාවේ නිරත වන ලෙසද දැනුම් දී ඇත.

එසේම යුදමය කටයුතුවලට සම්බන්ධ බවට සැකකෙරෙන කිසිදු යාත්‍රාවක් හෝ වෙනත් කිසිදු ආගන්තුක නෞකාවක් හෝ යාත්‍රාවක් ආසන්නයට නොයන ලෙසත් වෙනත් යාත්‍රා සමග භාණ්ඩ හුවමාරු කිරීම් හෝ වෙනත් ගනුදෙනු සිදු කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීන ලෙසත් ධීවර රැකියාව සඳහා පිටත්ව යාමේදී සහ ආපසු පැමිණීමේදී සාමාන්‍යයෙන් භාවිත කරන සුපුරුදු ගමන් මාර්ග ඔස්සේ පමණක් ගමන් කරන ලෙසත් ධීවර රැකියාව නිමවූ වහාම නැවත ගොඩබිමට පැමිණෙන ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඕනෑම හදිසි තත්ත්වයකදී සහාය ලබා ගැනීම සඳහා ධීවර දෙපාර්තමේන්තුවේ යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ ගොඩබිම පවතින ගුවන්විදුලි මධ්‍යස්ථාන පැය 24 පුරාම ක්‍රියාත්මකව පවතින බවත් මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ ක්‍රියාත්මක කරනු ලබන සමුද්‍රීය සෝදිසි සහ ගලවා ගැනීමේ මධ්‍යස්ථානය (Colombo MRCC) ද පැය 24 පුරා ක්‍රියාත්මක බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

Colombo MRCC මධ්‍යස්ථානය සමග 6215.00 kHz / 8291.00 kHz / 4225.00 kHz යන සංඛ්‍යාත ඔස්සේ ගුවන්විදුලි පණිවුඩ හුවමාරු යන්ත්‍ර මගින් ධීවරයන්ට සම්බන්ධ විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටියි.

මෙම උපදෙස් තරයේ පිළිපදිමින් වඩාත් සැලකිලිමත්ව සිය වෘත්තියෙහි නිරතවන ලෙස සියලුම බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන්ගෙන් සහ ධීවර කාර්මිකයන්ගෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

- එෆ්. අස්ලම්

Previous Post Next Post