වැඩි මිල සුපර් ඩීසල්, 95 පෙට‍්‍රල් වැඩියෙන් විකුණන්නැයි පිරවුම්හල්වලට බලපෑම්.. 92 පෙට‍්‍රල්, ඔටෝ ඩීසල් බෙදිල්ල අඩු කරයි..


මෙරට බලශක්ති ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන සිනොපෙක්, ආර්.එම්. පාක් සහ ලංකා IOC යන සමාගම් විසින් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට පත් කරමින් සිය ලාභාංශ ඉහළ නංවා ගැනීමට උත්සාහ කරන බවට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමයේ සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ සාමාන්‍ය මිලට වඩා වැඩි ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් පමණක් වැඩි වශයෙන් අලෙවි කරන ලෙස මෙම සමාගම් සිය අලෙවි නියෝජිතයන්ට දැඩි ලෙස බලපෑම් කරමින් සිටින බවය.

පාරිභෝගිකයන් බහුලව භාවිත කරන ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් නිකුත් කිරීම ඇතැම් බෙදුම්කරුවන් වෙත සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ද මෙම සමාගම් කටයුතු කර ඇත.

ඉහළ මිලැති ඉන්ධන වර්ග පමණක් මිලදී ගැනීමට ජනතාව පොළඹවන මෙම උපක්‍රමය මගින් සිදුවන්නේ පාරිභෝගිකයා සූරාකෑමක් බව හෙතෙම අවධාරණය කරයි.

විදේශීය සමාගම් දේශීය වෙළෙඳපොළට සම්බන්ධ කරගැනීමේදී සකස් කළ කැබිනට් පත්‍රිකා මගින්, මෙම ක්‍රියාවලිය අධීක්ෂණයට නිසි බලධාරියකු පත් කිරීමට තීරණය කර තිබුණ ද, පසුගිය හෝ වත්මන් රජය ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බව සභාපතිවරයා පවසයි. මෙම පාලනයකින් තොර තත්ත්වය හේතුවෙන් සමාගම්වලට හිතුමතේ කටයුතු කිරීමට ඉඩ ලැබී තිබේ.

මෙම අසාධාරණ තත්ත්වයට එරෙහිව වහා මැදිහත් වී පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කරන ලෙසත්, මහජන උපයෝගීතා කොමිසම වැනි ආයතන මේ පිළිබඳව වගකීමෙන් යුතුව සොයා බැලිය යුතු බවත් ශෙල්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

1 Comments

  1. අද ගෝලීය ඉන්ධන අර්බුදය උග්‍ර වන විට නවසීලන්තය පවුල්වලට මුදල් පරිත්‍යාග කිරීමට සූදානම් වේ. එදා ගෝටත් කොරෝනා වෙලාවේ දුන්නා . ලංකාවේ ආණ්ඩුවට දැන් සල්ලි තියනවා කියනවා . වහා ආර්ථික අපහසු ඇති අයට සහනාධාරයක් දෙන්න . ලිසිං වාරික ගෙවන්න සහනයක් දෙන්න .

    ReplyDelete
Previous Post Next Post