ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති තෙල් සම්බාධක හේතුවෙන් කියුබාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පසුබිමක , එරටට එල්ල විය හැකි ඕනෑම හමුදාමය ප්‍රහාරයකට මුහුණ දීමට තමන් සූදානම් බව කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩස් ද කොසියෝ ප්‍රකාශ කර සිටියි.
මෑතකදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කියුබාව අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ඇමරිකාව සමඟ සෘජු හමුදාමය ගැටුමක් ඇති වීමේ සම්භාවිතාව අවම වුවද, ජාතියක් ලෙස ඕනෑම ආක්‍රමණයකට එරෙහිව පෙළ ගැසීමට කියුබාව ඓතිහාසිකව සූදානම් වී සිටින බවයි. "එවැනි දෙයක් සිදුවනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඊට සූදානම් නොවී සිටීමට තරම් අප බොළඳ වන්නේත් නැහැ," යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් බලයෙන් ඉවත් කිරීමට ඇමරිකානු පරිපාලනය උත්සාහ කරන බවට වාර්තා පළ වී ඇති අතර , ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ කියුබාවේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් සිදු නොවන බවයි. කියුබානු රජයේ ව්‍යුහය හෝ එහි සාමාජිකයින් පිළිබඳ සාකච්ඡා මාර්ගයෙන් තීරණය කිරීමට තමන් සූදානම් නොමැති බව ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත්, ලතින් ඇමරිකානු කලාපය භාර ජ්‍යෙෂ්ඨ ඇමරිකානු හමුදා ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ, කියුබාව ආක්‍රමණය කිරීම සඳහා හෝ හමුදාමය වශයෙන් අත්පත් කර ගැනීම සඳහා ඇමරිකානු හමුදාව මේ වන විට කිසිදු සූදානමක් හෝ පෙරහුරුවක් සිදු කර නොමැති බවයි.
වසර ගණනාවක සිට පවතින රාජ්‍යතාන්ත්‍රික ගැටලු සහ ඇමරිකාව විසින් පනවා ඇති නව වෙළඳ හා තෙල් සම්බාධක හේතුවෙන් මේ වන විට කියුබාවේ බලශක්ති පද්ධතිය අඩාල වී ඇති අතර, පසුගිය සතියේ පමණක් දෙවරක් එරට විදුලි පද්ධතිය බිඳ වැටීමට ලක් විය.
