ඊශ්‍රායල බුද්ධි අංශ මූලස්ථානයට ඉරාන ප‍්‍රහාර...


ඊශ්‍රායල හමුදාවේ ප්‍රධාන බුද්ධි අංශ ඒකකයක් වන
'යුනිට් 8200' (Unit 8200) ඉලක්ක කර ගනිමින් ඉරාන හමුදාව විසින් දැවැන්ත ඩ්‍රෝන මෙහෙයුමක් දියත් කර ඇත.

මෙම මෙහෙයුම මගින් ඊශ්‍රායලයේ සයිබර් මෙහෙයුම් ඒකක සහ දත්ත සැකසුම් මධ්‍යස්ථාන වෙත දැඩි ප්‍රහාර එල්ල කර ඇත.

ඉරාන හමුදා නිවේදනයකට අනුව, මෙම ඩ්‍රෝන ප්‍රහාර මාලාව ඊශ්‍රායලයේ 'අමාන්' (Aman) හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම එරට ප්‍රහාරක යානා රඳවා ඇති ස්ථාන කිහිපයක් ද ඉලක්ක කර තිබේ.

පසුගිය පෙබරවාරි 28 වැනිදා ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා සෙයියඩ් අලි කමේනි ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය කටයුතු කිරීම නිසා මෙම ප්‍රතිප්‍රහාර දියත් වූ බව ඉරානය සඳහන් කරයි.

තම රටේ නායකයින්ගේ සහ වැසියන්ගේ ජීවිත වෙනුවෙන් පළිගැනීම සඳහා ඉරාන සෙබළුන් තම සියලු හැකියාවන් භාවිතා කරන බවත්, මෙම ඩ්‍රෝන ප්‍රහාර මාලාව ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් ඉරාන හමුදාව අවධාරණය කර ඇත.

මීට පෙර ද ඉරානය විසින් ඊශ්‍රායලයේ 'ෂින් බෙට්' (Shin Bet) මූලස්ථානය සහ අනෙකුත් හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් දියත් කර තිබුණි.

ඉරානය පවසන්නේ අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව දියත් කළ හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන් තම රටේ යටිතල පහසුකම්වලට සහ සිවිල් වැසියන්ට විශාල හානියක් සිදුව ඇති බවයි


Previous Post Next Post