ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයත් සමඟ, ඉරානය හෝ ඔවුන්ගේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් විසින් අමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බව අමෙරිකානු බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙයි. පසුගිය සෙනසුරාදා ඊශ්‍රායලය සහ අමෙරිකාව එල්ල කළ ප්‍රහාරයකින් කමේනි මියගිය බවට වාර්තා වීමෙන් පසු මෙම තත්ත්වය උද්ගත වී ඇත.
අමෙරිකානු දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (DHS) බුද්ධි හා විශ්ලේෂණ අංශය විසින් පෙබරවාරි 28 වැනි දින නිකුත් කරන ලද තක්සේරු වාර්තාවකට අනුව, ඉරානය සහ ඔවුන්ගේ නියෝජිත කණ්ඩායම් අමෙරිකා එක්සත් ජනපදය තුළ ඉලක්කගත ප්‍රහාර එල්ල කිරීමේ "සම්භාවිතාවක්" පවතින බව සඳහන් වේ. කෙසේ වෙතත්, මහා පරිමාණයේ භෞතික ප්‍රහාරයක් එල්ල වීමේ අවස්ථාව අවම මට්ටමක පවතින බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
බුද්ධි අංශ පෙන්වා දෙන්නේ කෙටි කාලීන වශයෙන් ඉරාන හිතවාදී සයිබර් ක්‍රියාකාරීන් විසින් අමෙරිකානු වෙබ් අඩවි අඩපණ කිරීම වැනි අඩු මට්ටමේ සයිබර් ප්‍රහාර එල්ල කළ හැකි බවයි. එමෙන්ම, මැදපෙරදිග කලාපයේ සිටින අමෙරිකානු සහ මිත්‍ර පාර්ශවීය ඉලක්ක වෙත එල්ල වන ප්‍රහාර අඛණ්ඩව සිදුවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අමෙරිකානු දේශීය ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් ප්‍රකාශ කළේ, මව්බිමට එල්ල විය හැකි ඕනෑම තර්ජනයක් මැඩපැවැත්වීම සඳහා ෆෙඩරල් බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සෘජු සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරන බවයි.
පසුගිය සෙනසුරාදා ආරම්භ වූ මෙම ගුවන් යුද්ධය මේ වන විට ලෙබනනය දක්වා ව්‍යාප්ත වී ඇත. හිස්බුල්ලා සංවිධානය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉරානය විසින් අමෙරිකානු හමුදා කඳවුරු පවතින ගල්ෆ් කලාපයේ රටවල් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටියි. මේ හේතුවෙන් ලෙබනනය තුළ අවතැන් වූ පුද්ගලයන් 30,000කට අධික පිරිසක් සහන කඳවුරුවල රැකවරණය පතා ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය තහවුරු කරයි.
මේ අතර, ඉරාන පාලන තන්ත්‍රය වෙනස් විය යුතු බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය හේතුවෙන් ඉරානය තුළ ඇති විය හැකි මහජන විරෝධතා සඳහා අමෙරිකානු රජයේ ඉහළ නිලධාරීන් වගකිව යුතු බවට ඉරානය විසින් චෝදනා කරනු ඇතැයි ද අමෙරිකානු බුද්ධි වාර්තා පූර්ව නිගමනය කරයි.
