කලාපය තුළ පිහිටා ඇති ඇමරිකානු කඳවුරු මුළුමනින්ම ඉවත් කරන තුරු තම ප්‍රතිප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව යළිත් අවධාරණය කර සිටියි.
Operation True Promise 4 මෙහෙයුමේ කොටසක් ලෙස පසුගිය සිකුරාදා අදියර දෙකකින් යුත් දැවැන්ත ප්‍රහාරයක් දියත් කළ බව ඉරාන බලධාරීන් පවසයි.
එහිදී එක්සත් ජනපදයට අයත් "අල් දෆ්රා" ගුවන් කඳවුරේ මූලස්ථානය ඉලක්ක කර ගනිමින් නිරවද්‍යතාවයකින් යුත් බැලස්ටික් මිසයිල සහ කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරවලින් ඇමරිකානු කඳවුරේ මුල් අනතුරු ඇඟවීමේ රේඩාර් පද්ධති, විධාන හා පාලන මධ්‍යස්ථාන මෙන්ම භට පිරිස් රැස්ව සිටින ස්ථාන නිවැරදිව ඉලක්ක කර විනාශ කිරීමට හැකි වූ බව IRGC නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මෙම ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වූයේ පසුගිය පෙබරවාරි 28 වන දින ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා සෙයියද් අලි කමේනි මහතා සහ ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට ප්‍රතිචාර වශයෙනි.
ඉන් අනතුරුව ඇමරිකාව සහ සියොන්වාදී පාලනය විසින් ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා මෙහෙයුමක් ආරම්භ කළ අතර, ඉරානයේ සිවිල් සහ මිලිටරි ස්ථාන රැසකට එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
ඉරාන නාවික හමුදාව පෙන්වා දෙන්නේ කලාපය තුළ පවතින අස්ථාවරත්වයට සහ මුස්ලිම් ජනතාව සමූලඝාතනය වීමට ප්‍රධාන හේතුව මෙම ඇමරිකානු කඳවුරු බවයි.
මේ හේතුවෙන් කලාපයෙන් ඇමරිකානු බලය මුළුමනින්ම තුරන් කරන තුරු පසුබට නොවන බවත්, අඛණ්ඩව ප්‍රහාර දියත් කරන බවත් ඉරානය වැඩිදුරටත් අවධාරණය කරයි
