එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව පවත්වනු ලබන වාර්ෂික ඒකාබද්ධ යුද අභ්‍යාසය ආරම්භ වී ඇති පසුබිමක් තුළ, උතුරු කොරියාව සිය බටහිර වෙරළ තීරයේ සිට බැලස්ටික් මිසයිල කිහිපයක් දියත් කර ඇති බව ජපානය සහ දකුණු කොරියාව නිවේදනය කරයි.
ජපාන ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රකාශයකට අනුව මෙම මිසයිල කිලෝමීටර් 80 ක උපරිම උසකට ළඟා වී ඇති අතර, කිලෝමීටර් 340 ක පමණ දුරක් පියාසර කර කොරියානු අර්ධද්වීපයට ඔබ්බෙන් වූ මුහුදට පතිත වී තිබේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් අවට නෞකාවලට හෝ ගුවන් යානාවලට හානියක් සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නොමැත.
දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ට අනුව, උතුරු කොරියාව විසින් 'නැගෙනහිර මුහුද' දෙසට කෙටි දුර විදින බැලස්ටික් මිසයිල 10 කට ආසන්න ප්‍රමාණයක් දියත් කර ඇත. මෙය වසර ආරම්භයේ සිට උතුරු කොරියාව මෙවැනි මිසයිල දියත් කළ තෙවැනි අවස්ථාව ලෙස සටහන් වේ.
උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොන්, මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රකාශ කළේ සෝල් සහ වොෂින්ටන් පාලනයන් සිය හමුදා ශක්තිය ප්‍රදර්ශනය කරමින් කලාපීය ස්ථාවරත්වය විනාශ කරන බවයි. මාර්තු 19 වැනිදා දක්වා පැවැත්වෙන ‘Freedom Shield’ නම් වූ මෙම යුද අභ්‍යාසයට දකුණු කොරියානු සහ ඇමරිකානු භට පිරිස් දහස් ගණනක් සහභාගී වේ.
මධ්‍යම පෙරදිග පවතින උණුසුම් යුද වාතාවරණය හමුවේ ලෝක අවධානය වෙනතකට යොමුව තිබියදී උතුරු කොරියාව මෙම ක්‍රියාවෙහි නිරත වී තිබීම විශේෂත්වයකි. මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් අන් අතර යළිත් සාකච්ඡා වටයක් ආරම්භ වීමේ ඉඩකඩක් පවතින බවට ද දකුණු කොරියානු අග්‍රාමාත්‍ය කිම් මින්-සොක් ඉඟි පළ කර ඇත.
පවතින තත්ත්වය හමුවේ දකුණු කොරියාව, ජපානය සහ එක්සත් ජනපද හමුදාවන් සිය ඔත්තු බැලීමේ කටයුතු තීව්‍ර කර ඇති අතර ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා සීරුවෙන් සිටින බව වාර්තා වේ.
