සෞඛ්‍ය ලේකම් ඇතුළු හතරකට අල්ලස් පැමිණිලි..


නිසි නෛතික පදනමකින් තොරව විනය පරීක්ෂණ පවත්වමින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට අනුබල දෙන බවට චෝදනා කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු උසස් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ විපක්ෂ කණ්ඩායම් නායක, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇත.

මෙම පැමිණිල්ල මගින් සෞඛ්‍ය ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අධ්‍යක්ෂ, හිමායා ජයසිංහ මහත්මිය, ඒක පුද්ගල විනිශ්චය සභා නියෝජනය කරන හිටපු මහාධිකරණ විනිසුරු, පියසේන රණසිංහ මහතා, භාණ්ඩාගාරයේ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, ආර්.කේ.ආර්. රණසිංහ මහතාට එරෙහිව විමර්ශන පවත්වන ලෙස ඉල්ලා ඇත.

අදාළ පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ මූලික හෝ විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නෛතික හැකියාවක් පවතීදැයි විමසීමකින් තොරව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය හරහා මෙවැනි පරීක්ෂණ සිදු කරන බවයි. පිළිගත නොහැකි තත්ත්වයන් යටතේ සිදු කරන මෙම පරීක්ෂණ සඳහා පරීක්ෂණ නිලධාරීන්ට සහ විනිශ්චය සභාවලට ප්‍රවාහන, නවාතැන් ඇතුළු දීමනා වෙනුවෙන් අතිවිශාල රාජ්‍ය මුදලක් වැය කරන බවත්, මෙය වත්මන් සෞඛ්‍ය ලේකම්වරයාගේ මෙහෙයවීම මත සිදුවන "ජාවාරමක්" බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා චෝදනා කරයි.

මීට පෙර විගණකාධිපතිවරයා ද මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ඇති බව පෙන්වා දෙන ඒ මහතා, පෞද්ගලික පළිගැනීමේ චේතනාවෙන් පවත්වන මෙවැනි අනවශ්‍ය විනය පරීක්ෂණ හේතුවෙන් සිදුවන මූල්‍ය අලාභයට සෞඛ්‍ය ලේකම්වරයා සෘජුව වගකිව යුතු බව පවසයි. එබැවින් මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වා, රජයට සිදුව ඇති අලාභය අදාළ වගකිවයුත්තන්ගෙන් අය කරගන්නා ලෙස අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇත.

මීට අමතරව, මේ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණ පවත්වන ලෙස අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සහ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ද ඔහු ඉල්ලීමක් කර තිබේ.

2 Comments

  1. Very good initiative

    ReplyDelete
  2. https://youtu.be/RlLeGnT-tYo?si=18vsU1heTx-564UN

    ReplyDelete
Previous Post Next Post