ඉරානයට අයත් ඛාර්ග් දූපතට අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ පිහිටි අමෙරිකානු මධ්‍යස්ථාන "නීත්‍යානුකූල ඉලක්ක" බවට පත්වනු ඇතැයි ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
අල්-ජසීරා පුවත් සේවය උපුටා දක්වමින් 'ද කැස්පියන් පෝස්ට්' වාර්තා කරන පරිදි, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ තම රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කිරීම තමන් සතු නීත්‍යානුකූල අයිතියක් බවයි. ඒ අනුව අමෙරිකානු මිසයිල දියත් කිරීමට යොදාගන්නා මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.
ඉරාන ආරක්ෂක අංශවල නිරීක්ෂණයට ලක්ව ඇති මෙම ඉලක්ක අතරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන නගරවල පිහිටි නැව් තොටුපළවල්, භාණ්ඩ ප්‍රවාහන අංගන, අමෙරිකානු හමුදා නිලධාරීන් රැඳී සිටින මධ්‍යස්ථාන ඇතුළත් විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
ප්‍රහාරවලින් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා, එමීර් රාජ්‍යයේ වරායවල්, නැව් අංගන සහ අමෙරිකානු හමුදා කඳවුරු ආසන්නයේ පදිංචිව සිටින සිවිල් වැසියන්ට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ඉල්ලීමක් කර ඇත.
කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක ඉරානයෙන් නිකුත් වූ මෙම නිවේදනය මැදපෙරදිග කලාපයේ යුදමය අවදානම තවදුරටත් තීව්‍ර කර තිබේ.
