ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් ඊශ්‍රායලයේ ප්‍රධාන ඉලක්ක වෙත එල්ල කරන ලද නවතම මිසයිල ප්‍රහාර මාලාවකදී, ප්‍රථම වරට 'සෙජිල්' (Sejjil) වර්ගයේ උපායමාර්ගික ඝන ඉන්ධන මිසයිල භාවිතා කර ඇති බව වාර්තා වේ.
පෙබරවාරි 28 වැනිදා ඇමරිකානු - ඊශ්‍රායල හවුල්කාරිත්වයෙන් ඉරානයට එරෙහිව ආරම්භ වූ යුදමය ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ක්‍රියාත්මක 'සත්‍ය පොරොන්දුව 4' (Operation True Promise 4) මෙහෙයුම යටතේ එල්ල කළ 54 වැනි මිසයිල ප්‍රහාර මාලාව මෙයයි.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ මහජන සම්බන්ධතා කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම ප්‍රහාරය සඳහා ටොන් දෙකක පුපුරණ ද්‍රව්‍ය රැගෙන යා හැකි 'ඛෝරම්ෂාර්' (Khorramshahr) අධිබර මිසයිල, ඛයිබර්-ෂෙකාන් (Khaybar-shekan), කදර් (Qadr) සහ එමාඩ් (Emad) මිසයිල, ප්‍රථම වරට යොදාගත් 'සෙජිල්' (Sejjil) ඝන ඉන්ධන මිසයිල වර්ග භාවිතා කර ඇත:
ඊශ්‍රායලයේ ගුවන් මෙහෙයුම් මෙහෙයවන කළමනාකරණ සහ තීරණ ගැනීමේ මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් මෙම 'සෙජිල්' මිසයිල එල්ල කළ බව ඉරානය පවසයි.
මීට අමතරව, ඊශ්‍රායලයේ මිලිටරි හා ආරක්ෂක කර්මාන්තයට අදාළ යටිතල පහසුකම් මෙන්ම සන්නද්ධ හමුදා රැඳී සිටින ස්ථාන වෙතද සාර්ථක ලෙස ප්‍රහාර එල්ල වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ඉරාන ඉස්ලාමීය විප්ලවයේ උත්තරීතර නායක අයතුල්ලා සෙයිද් අලි කමේනි මහතා සහ ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරීන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරවලින් පසු කලාපීය නොසන්සුන්තාව උච්ච විය. ඉරානයේ සිවිල් හා මිලිටරි මධ්‍යස්ථාන වෙත එල්ල වූ එම ගුවන් ප්‍රහාරවලින් දේපළ හා ජීවිත හානි රැසක් සිදු විය.
ඊට ප්‍රතිචාර වශයෙන් ඉරාන සන්නද්ධ හමුදා විසින් කලාපය තුළ පිහිටි ඇමරිකානු සහ ඊශ්‍රායල මධ්‍යස්ථාන වෙත අඛණ්ඩව මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටී.
