ඉරානයට පහර දෙන්න සෞදි අරාබියත් එයි..


තම රටට හෝ බලශක්ති ක්ෂේත්‍රයට එල්ල වන ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත්
, ඊට සමාන අයුරින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බව සෞදි අරාබිය ඉරානයට නිල වශයෙන් දැනුම් දී තිබේ. කලාපීය ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, පවතින ගැටලුකාරී තත්ත්වයන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට සෞදි අරාබිය මනාප වුවද, තම ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය දැඩි පියවර ගැනීමට සූදානම් බවයි.

පසුගිය පෙබරවාරි 28 වැනිදා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ සාකච්ඡා බිඳ වැටීමෙන් අනතුරුව, ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා එල්ල කරන ප්‍රහාර හමුවේ කලාපය දැඩි උණුසුම් තත්ත්වයක පවතී. පසුගිය සතියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, කටාර් සහ බහරේනය සමඟ සෞදි අරාබිය ද ඉරානයේ දැඩි ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයන්ට ලක් විය.

සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් කුමරු ඉරාන විදේශ ඇමති අබ්බාස් අරග්චි වෙත සෞදියේ ස්ථාවරය පැහැදිලි කර ඇත.

මෙතෙක් ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා ඇමරිකාවට තම ගුවන් සීමාව හෝ භූමිය භාවිත කිරීමට සෞදිය අවසර දී නොමැති බවත් ඉරාන ප්‍රහාර දිගින් දිගටම එල්ල වුවහොත්, තම රටේ ඇති ඇමරිකානු හමුදා කඳවුරු ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා භාවිත කිරීමට අවසර දීමට සෞදියට සිදුවනු ඇති බවත් විශේෂයෙන්ම සෞදියේ තීරණාත්මක බලශක්ති පද්ධතීන්ට හානි සිදුවුවහොත් සෘජු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවටත් එහිදී අවධාරණය කර ඇත.

මෙම දැනුම්දීමෙන් අනතුරුව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර ඇත්තේ, තම හමුදා එල්ල කළ ප්‍රහාරවලින් අසල්වැසි ගල්ෆ් රටවලට සිදුවූ පීඩාවන් පිළිබඳව තමන් කණගාටුව පළ කරන බවයි. තම රටට ප්‍රහාරයක් එල්ල නොවන තාක් කල් අසල්වැසි රටවලට ප්‍රහාර එල්ල කිරීම අත්හිටුවීමට ඉරාන තාවකාලික නායකත්ව කවුන්සිලය තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, ඉරාන හමුදා නායකත්වය පවසන්නේ කලාපයේ පවතින ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවයි. මේ හේතුවෙන් කලාපීය ආරක්ෂාව පිළිබඳව තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක් පවතී.


2 Comments

  1. hambayo ekata eka na - karima jathiyak

    ReplyDelete
    Replies
    1. වසලයො, තොට ජාතියක් තියනවද​?

      Delete
Previous Post Next Post