බැරල්වලට ඉන්ධන දීම අත්හිටුවයි.. එකතු කර වැඩිමිලට විකුණනන අයට නීතිය..


මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේ වුවද, මෙරට ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව ස්ථාවරව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි.

එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ, ලබන අප්‍රේල් සහ මැයි මාස දක්වා ඇණවුම් කරන ලද ඉන්ධන තොග නියමිත පරිදි දිවයිනට ලැබෙනු ඇති බවයි. 

ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවලින් අදාළ නැව්ගත කිරීම් සැලසුම් කර ඇති බවත්, ඒ පිළිබඳව වගකීමෙන් යුතුව ජනතාවට සහතිකයක් ලබා දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්ධන හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කර ගනිමින් පෝලිම්වල රැඳී සිටීම අවශ්‍ය නොවන බව පෙන්වා දුන් සභාපතිවරයා, පාරිභෝගික ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් ඉරිදා දිනයක් වුවද (01) ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කළ බව ප්‍රකාශ කළේය. 

02 දිනට යෙදී ඇති පෝය දිනයේදී පවා පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සංස්ථාව කටයුතු කර ඇත.

අනිසි ලෙස ඉන්ධන තොග රැස්කිරීම පාලනය කිරීම සඳහා බැරල්වලට ඉන්ධන ලබා නොදෙන ලෙස සියලු පිරවුම්හල් වෙත උපදෙස් ලබා දී තිබේ. 

නැවත විකිණීමේ අරමුණින් බැරල්වලට ඉන්ධන ලබාගන්නා පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ද සභාපතිවරයා මෙහිදී අනතුරු ඇඟවීය.

Previous Post Next Post