ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, මෙරට ජනගහනයෙන් 33% කට ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීමේ හැකියාවක් නොමැති බව හෙළි වී තිබේ.
ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික වර්ධන වේගය අනුව ඉදිරි දශකය තුළ රැකියා වෙළඳපොළට පිවිසෙන තරුණ තරුණියන්ගෙන් බහුතරයකට රැකියා අහිමිවීමේ දැඩි අවදානමක් පවතින බවද එම වාර්තාව පෙන්වා දෙයි.
ඉදිරි වසර 10 තුළ තරුණ තරුණියන් ලක්ෂ 10 ක් පමණ රැකියා වෙළඳපොළට පැමිණීමට නියමිත වුවද, නිර්මාණය වන්නේ නව රැකියා අවස්ථා ලක්ෂ තුනක් පමණක් බව ලෝක බැංකුව පවසයි.
ඒ අනුව රැකියා වෙළඳපොළට පිවිසෙන සෑම තරුණ තරුණියන් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකුටම සුදුසු රැකියාවක් නොමැති වනු ඇත.
ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමි වූ විශාල පිරිසකට තවමත් රැකියා අවස්ථා ලැබී නොමැති අතර, මෙරට ශ්‍රම වෙළඳපොළ තවමත් යථා තත්ත්වයට පත්ව නොමැති බවද වාර්තාවේ සඳහන් වේ.
2019 වසරේදී 11.5% ක්ව පැවති මෙරට දරිද්‍රතාවය, දරුණු ආර්ථික අර්බුදය හමුවේ 2023 වසරේදී 27.5% දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත්, පසුගිය වසර අවසානය වන විට එය 22.3% දක්වා සුළු වශයෙන් පහත වැටී ඇති අතර, ඉදිරි වසර 2 ත් 5 ත් අතර කාලයේදී එය 20% සීමාවේ පවතිනු ඇතැයි පුරෝකතනය කර ඇත.
තවද, ශ්‍රී ලංකාවේ විදුලි බිල්පත ආසියාවේ ඉහළම විදුලි බිල්පත් අතර පවතින බවද ලෝක බැංකුව පෙන්වා දෙයි.
ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ලෝක බැංකුවේ ඇගයීමට ලක්ව ඇතත්, සාර්ව ආර්ථික අවදානම් තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැත.
මෙම තත්ත්වයෙන් මිදීම සඳහා 2026 සිට 2030 දක්වා ක්‍රියාත්මක වන නව පස් අවුරුදු හවුල්කාරිත්ව රාමුවක් ලෝක බැංකුව හඳුන්වා දී තිබේ.
මෙම නව හවුල්කාරිත්වය යටතේ සෘජු හා අනෙකුත් ආයෝජන සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක්, ඉදිරි වසර තුන සඳහා අඩු පොලී ණය යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියනයක් මූල්‍ය සහාය ලැබේ.
මෙම වැඩපිළිවෙළ හරහා 2030 වසර වන විට මෙරට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 36 දක්වා දෙගුණයකින් වර්ධනය කර ගැනීමට සහාය වීම ලෝක බැංකුවේ අභිලාෂයයි. එමෙන්ම, 2030 වන විට මෙරට විදුලි උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට සහාය වන බවත්, එමගින් පවුල්වල සහ ව්‍යාපාරවල විදුලි බිල්පතට සහනයක් සැලසෙනු ඇති බවත් ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
දැනට ලෝක බැංකු සහාය යටතේ අධ්‍යාපනය, බලශක්තිය, ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය සහ සමාජ ආරක්ෂණය යන ක්ෂේත්‍ර ඔස්සේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් වටිනා ව්‍යාපෘති 18 ක් මෙරට ක්‍රියාත්මක වේ.

paw janathawata, munta visadumak gana hitannawath wela naha
ReplyDeleteWela naha nevei bn therenne na.
ReplyDelete