ලෝක දේශපාලනයේ දීර්ඝකාලීන මිත්‍ර රටවල් වන ඇමරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබේ.
පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඉදිරිපත් වූ තීරණාත්මක යෝජනාවකදී ප්‍රංශය සිය මිත්‍ර නේටෝ (NATO) පාර්ශවකරු වන ඇමරිකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරමින් එම යෝජනාව පරාජය කිරීමට කටයුතු කර ඇත.
විශේෂත්වය වන්නේ, මෙම යෝජනාව අවහිර කිරීම සඳහා ප්‍රංශය, ඇමරිකාවේ ප්‍රධාන ප්‍රතිවාදීන් වන රුසියාව සහ චීනය සමඟ අත්වැල් බැඳ ගැනීමයි.
ලෝක තෙල් සැපයුමෙන් 20% ක් පමණ ප්‍රවාහනය කෙරෙන උපායමාර්ගිකව වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කරගනිමින් මෙම අර්බුදය නිර්මාණය වී තිබේ.
මේ වන විට ඉරානය විසින් මෙම මුහුදු සීමාව හරහා ගමන් ගන්නා ඇමරිකානු සහ ඊශ්‍රායල සබඳතා සහිත නෞකාවලට දැඩි සීමාවන් පනවා ඇත.
මෙම තත්ත්වයට එරෙහිව හමුදාමය හෝ දේශපාලනමය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ජාත්‍යන්තර සහාය ඉල්ලා වොෂින්ටනය මෙම යෝජනාව ඉදිරිපත් කළද, මෙම විරෝධය හමුවේ එය ව්‍යර්ථ විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම ඡන්ද විමසීමෙන් පැය කිහිපයකට පසුව ඉරානය විසින් ප්‍රංශ නෞකාවකට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලබා දී තිබේ.
ප්‍රංශ නාවික ප්‍රවාහන දැවැන්තයෙකු වන CMA CGM සමාගමට අයත් මෙම නෞකාව මෙලෙස ආරක්ෂිතව ගමන් කිරීම, ඉරානය විසින් ප්‍රංශය සතුරු රාජ්‍යයක් ලෙස නොසලකන බවට ලැබුණු ඉඟියක් ලෙස විදේශ විචාරකයෝ පෙන්වා දෙති.
නෞකා ගමන් පථ නිරීක්ෂණ දත්ත (Marine Traffic) වලට අනුව, මෝල්ටා රාජ්‍යයේ ලියාපදිංචි ‘ක්‍රිබි’ (Kribi) නම් මෙම නෞකාව ඉකුත් අප්‍රේල් 2 වනදා හෝමුස් සමුද්‍ර සන්ධිය තරණය කර ඇත.
මෙහිදී විශේෂම සිදුවීම වන්නේ, නෞකාව ඉරාන මුහුදු සීමාවට ඇතුළු වීමට පෙර එහි ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතියේ (AIS) ගමනාන්තය ‘Owner France’ ලෙස වෙනස් කර තිබීමයි.
යුද පවතින කලාපවලදී තම මධ්‍යස්ථභාවය තහවුරු කිරීම සඳහා නෞකා මෙවැනි උපක්‍රම භාවිතා කරන අතර මීට පෙර චීන නෞකා ද මෙලෙස ක්‍රියා කර තිබේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පසුගියදා ප්‍රකාශ කළේ හමුදාමය ක්‍රියාමාර්ගයකින් තොරව, රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මගින් මෙම සමුද්‍ර සන්ධිය විවෘත කරගත යුතු බවයි. "මෙම සමුද්‍ර සන්ධිය බලශක්ති ප්‍රවාහනයට සහ ජාත්‍යන්තර වෙළඳාමට ඉතා වැදගත්. එය නැවත විවෘත කළ හැක්කේ ඉරානය සමඟ සාකච්ඡා කිරීමෙන් පමණයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයන් පසුගිය සතිය පුරාම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ දැඩි යෝජනා ලිහිල් කිරීමට ද කටයුතු කර තිබුණි.
ලෝකයේ තෙල් සහ ස්වභාවික වායු සැපයුමෙන් පහෙන් එකක් (1/5) පමණ ප්‍රවාහනය කෙරෙන්නේ මෙම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහාය. පෙබරවාරි අග භාගයේ ආරම්භ වූ යුදමය තත්ත්වයත් සමඟ මෙම කලාපය අවහිර වීම ලෝක වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කර තිබුණි. ප්‍රංශ නෞකාවට හිමිවූ මෙම අවස්ථාව කලාපීය නාවික ගමනාගමනයේ සුබදායී පෙරනිමිත්තක් ලෙස සැලකේ.
කෙසේ වෙතත්, මෙම නෞකාවේ ගමන සම්බන්ධයෙන් CMA CGM සමාගම හෝ ප්‍රංශ ජනාධිපති කාර්යාලය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
