පොලිසියට තොරතුරු ලබාදෙන බවට සැක කරමින්, විශ්‍රාමික යුද හමුදා මේජර්වරයෙකු ඉලක්ක කරගෙන කළුතර දකුණ, බෝධියවත්ත ප්‍රදේශයේදී රාත්‍රියේ දරුණු ප්‍රහාරයක් එල්ල වී තිබේ.
තියුණු ආයුධ සහ ගිනි අවි රැගත් පිරිසක් නිවසට කඩා වැදී ගිනි තැබීම හේතුවෙන් නිවසේ දේපළවලට දැඩි හානි සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.
රාත්‍රී 11.30 ට පමණ කෑන්වල අසුරන ලද පෙට්‍රල් ද රැගෙන පැමිණි පිරිසක් නිවසේ ප්‍රධාන දොරටුවට පහර දී ඇත.
එහිදී දොර විවෘත කිරීමට උත්සාහ කළ මේජර්වරයාගේ මිතුරෙකුට මැර පිරිස තියුණු ආයුධවලින් පහර දී ඇති අතර, පසුව නිවසට පෙට්‍රල් වත් කර ගිනි තබා පළා ගොස් ඇත.
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා මේ වන විට කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ප්‍රහාරකයින් නිවස තුළට කඩා වදින අවස්ථාවේදී මේජර්වරයා සිය මෑණියන් ද ආරක්ෂා කරගනිමින් කාමරයක් තුළ සැඟවී සිට ඇති අතර, එම උපක්‍රමශීලී පියවර හේතුවෙන් ඔවුන් දෙදෙනාට කිසිදු ශාරීරික හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ගින්නෙන් නිවසට සහ එහි තිබූ වටිනා දේපළ රැසකට විශාල අලාභයක් සිදුව ඇත.
මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා කළුතර දකුණ පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
