ගල්අඟුරු ප්‍රසම්පාදනයේදී කිසිදු වංචාවක් සිදුව නොමැති බවත්, විපක්ෂය එල්ල කරන චෝදනා සනාථ කිරීමට ඔවුන් පාර්ලිමේන්තුවේදී හෝ කෝප් කමිටුවේදී මෙතෙක් සමත්ව නොමැති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
ගල්අඟුරු වංචාවක් සිදුව ඇති බවට විපක්ෂය දිගින් දිගටම ඝෝෂා කළද, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ පැය ගණනාවක් විවාද කර ඇති අතර කෝප් කමිටුවේදී ද පැය හයකට අධික කාලයක් ඒ පිළිබඳව සාකච්ඡා කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම විෂයභාර අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් 22 දෙනෙකු අදහස් දැක්වූවත්, වංචාවක් සිදුව ඇති බව නිශ්චිතව තහවුරු කිරීමට කිසිදු මන්ත්‍රීවරයෙකු සමත් නොවූ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
ජනතාව තුළ පවතින සැක සංකා දුරු කිරීම සඳහාත්, මේ පිළිබඳව විධිමත් නීත්‍යානුකූල පරීක්ෂණයක් පැවැත්වීම සඳහාත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ ජනාධිපති විමර්ශන කොමිසන් සභාවක් පත් කර ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.
"දැන් විපක්ෂයට වගේම ජනතාවටත් පුළුවන් තමන් සතුව සාක්ෂි තියෙනවා නම්, ඒවා ලිඛිත, වාචික හෝ විද්‍යුත් සාක්ෂි වේවා, මෙම කොමිසමට ඉදිරිපත් කරලා වංචාවක් වුණාද නැද්ද කියලා ඔප්පු කරන්න" යැයි ඔහු අභියෝග කළේය.
මෙම විමර්ශනය වත්මන් රජයේ කාලසීමාවට පමණක් සීමා නොවන්නක් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ඒ අනුව 2009 වසරේ සිට මේ දක්වා සිදුවූ සියලුම ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සහ ටෙන්ඩර් පිළිබඳව පූර්ණ විමර්ශනයක් මෙහිදී සිදු කෙරෙනු ඇත.
වත්මන් රජය යටතේ මෙතෙක් ගෙන්වා ඇත්තේ සමස්ත ගල්අඟුරු නැව් 460කට අධික සංඛ්‍යාවෙන් ඉතා කුඩා ප්‍රමාණයක් බවත්, ප්‍රසම්පාදන අවස්ථා 40කට අධික සංඛ්‍යාවෙන් රජයට අදාළ වන්නේ එකක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.
මෙම පරීක්ෂණ කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා සහ ඊට අවශ්‍ය සහාය දැක්වීම සඳහා විෂයභාර අමාත්‍යවරයා සහ ලේකම්වරයා සිය ධුරවලින් තාවකාලිකව ඉවත් වී ඇති බවද සූරියආරච්චි මහතා පැවසීය.
කොමිෂන් සභා වාර්තාවේ ප්‍රතිඵල අනුව ඕනෑම අයෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය සූදානම් බවත්, වංචාව සහ දූෂණය පිටුදැකීම තම රජයේ ප්‍රධාන අරමුණ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය

ඇදුමක ඇදගෙන කොහොම කියන්නද ?
ReplyDelete