ගල් අගුරු වංචාවක් වෙලා නෑමයි.. ජයකොඩි අස්වුනේ සැක දුරු කරන්න පහසුවටයි..


ගල්අඟුරු ප්‍රසම්පාදනයේදී කිසිදු වංචාවක් සිදුව නොමැති බවත්
, විපක්ෂය එල්ල කරන චෝදනා සනාථ කිරීමට ඔවුන් පාර්ලිමේන්තුවේදී හෝ කෝප් කමිටුවේදී මෙතෙක් සමත්ව නොමැති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ගල්අඟුරු වංචාවක් සිදුව ඇති බවට විපක්ෂය දිගින් දිගටම ඝෝෂා කළද, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ පැය ගණනාවක් විවාද කර ඇති අතර කෝප් කමිටුවේදී ද පැය හයකට අධික කාලයක් ඒ පිළිබඳව සාකච්ඡා කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම විෂයභාර අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් 22 දෙනෙකු අදහස් දැක්වූවත්, වංචාවක් සිදුව ඇති බව නිශ්චිතව තහවුරු කිරීමට කිසිදු මන්ත්‍රීවරයෙකු සමත් නොවූ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ජනතාව තුළ පවතින සැක සංකා දුරු කිරීම සඳහාත්, මේ පිළිබඳව විධිමත් නීත්‍යානුකූල පරීක්ෂණයක් පැවැත්වීම සඳහාත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ ජනාධිපති විමර්ශන කොමිසන් සභාවක් පත් කර ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.

"දැන් විපක්ෂයට වගේම ජනතාවටත් පුළුවන් තමන් සතුව සාක්ෂි තියෙනවා නම්, ඒවා ලිඛිත, වාචික හෝ විද්‍යුත් සාක්ෂි වේවා, මෙම කොමිසමට ඉදිරිපත් කරලා වංචාවක් වුණාද නැද්ද කියලා ඔප්පු කරන්න" යැයි ඔහු අභියෝග කළේය.

මෙම විමර්ශනය වත්මන් රජයේ කාලසීමාවට පමණක් සීමා නොවන්නක් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ඒ අනුව 2009 වසරේ සිට මේ දක්වා සිදුවූ සියලුම ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සහ ටෙන්ඩර් පිළිබඳව පූර්ණ විමර්ශනයක් මෙහිදී සිදු කෙරෙනු ඇත.

වත්මන් රජය යටතේ මෙතෙක් ගෙන්වා ඇත්තේ සමස්ත ගල්අඟුරු නැව් 460කට අධික සංඛ්‍යාවෙන් ඉතා කුඩා ප්‍රමාණයක් බවත්, ප්‍රසම්පාදන අවස්ථා 40කට අධික සංඛ්‍යාවෙන් රජයට අදාළ වන්නේ එකක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

මෙම පරීක්ෂණ කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා සහ ඊට අවශ්‍ය සහාය දැක්වීම සඳහා විෂයභාර අමාත්‍යවරයා සහ ලේකම්වරයා සිය ධුරවලින් තාවකාලිකව ඉවත් වී ඇති බවද සූරියආරච්චි මහතා පැවසීය.

කොමිෂන් සභා වාර්තාවේ ප්‍රතිඵල අනුව ඕනෑම අයෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය සූදානම් බවත්, වංචාව සහ දූෂණය පිටුදැකීම තම රජයේ ප්‍රධාන අරමුණ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය

3 Comments

  1. ඇදුමක ඇදගෙන කොහොම කියන්නද ?

    ReplyDelete
  2. සේදුම් බලකායට කරන්න දෙයක් නැහැ. 159 වැඩේට බැහැලා

    ReplyDelete
  3. ආරියතිලක

    නිය ම ලෙසට නම් 1965 මැයි මස 14 වෙනි දින සිට ජනතා විමුක්ති පෙරමුණ දේශපාල්නය විසින් මේ රටට කර ඇති අපරාධ පිළිබඳව, විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිසුමක් පත් කොට සමස්ත විශ්ලේෂණයකට බදුන් කළ යුතු ය. ජවිපෙ විසින් මේ රටට කර ඇති කිසිදු අපරාධයක් ඔවුන් අද වන තුරු පිළිගැනීමකට ලක් වී නැත. (බටලන්ද කොමිෂන් සභා වාර්තාව කැබිනට් මණ්ඩලයේ අනුමත කොට ජවිපෙ දෙවැනි කැරැල්ලේ දී ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පිළිගෙන ඇත.) ඔවුන් විසින් ඇති කළ රාජද්‍රෝහී දේශද්‍රෝහී, ජවිපෙ කැරළි දෙක ම නිවැරැදි බව කියන්නේ එම කැරළි දෙක මෙහෙය වූ මිය ගිය සැම "විරුවන්" වශයෙන් නම් කොට සැමරීම් කරමින් ය. 1971 කැරැල්ලේදී මියගිය අය " බක් මහ විරුවන්" ලෙස හා 1987/88/89 කැරැල්ලේදී මිය ගිය පිරිස, " ඉල් මහ විරුවන්" යන ලෙසින් රාජද්‍රෝහී දේශද්‍රෝහි අපරාධකරුවන් "විරුවන්" ලෙස සමරත්. ජවිපෙ විසින් කරන ලද අපරාධ නිසි ලෙස සමාලෝචනය වී නැත.

    විශේෂයෙන් කිව යුත්තක් ඇත. ඒ, 1989 පෙබරවාරි 08 වෙනි දින මහනුවර ශ්‍රී දළදා මන්දිරයට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහරය ය. එම ප්‍රහාරය අතිශයින් ම ම්ලේච්ඡ ප්‍රහාරයකි. එම ප්‍රහාරය ජවිපෙ විසින් මෙහෙය වූ බවට චෝදනාවකි. එම ප්‍රහාරය ජවිපෙ විසින් නො කළ බවට ජවිපෙ ක්‍රියාකාරීහු කියත්. කෙසේ නමුදු ප්‍රහාරය සත්‍යය ය.
    එම ප්‍රහාරයට සම්බන්ධ වී මිය ද්‍රෝහීන් " ඉල් මහ විරුවන්" ලෙස සැමරීමට භාජනය නො වන්නේ ද? මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව ද විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාවක් පත් කළ යුතු ය. එවකට දළදා මාළිගාවේ සේවය නියුතු, ඇසින් දුටු ශාක්ෂි මෙයට ශාක්ෂි දරනවා ඇත. ඔන්න කරනවා නම් වැඩක්! තමන්ට එල්ල වී ඇති චෝදනාවෙන් නිදහස් වීමට, ජවිපෙ පක්ෂ නායකයා වශයෙන් ජනාධිපතිවරයාට කළ හැකි, කළ යුතු, ජනාධිපති විමර්ෂණ කොමිසුමක් පත් කොට එහි සත්‍යතාවය එළි කොට, " ශ්‍රී දන්ත ධාතු මන්දිරයට එල්ල කළ කොමියුනිස්ට්වාදී ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය" ජවිපෙ විසින් කළේ නැතැයයි නිදහස් විය හැක්කේ ය. එසේ ම ලංකාවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සලකන ශ්‍රී දළදා වහන්සේට කරන ලද අපරාධයේ සැබෑ අපරාධකරුවන් කවුරුන්ද යන්න ලෝකවාසී බෞද්ධ ජනතාවට හා ලංකාවාසී බෞද්ධ ජනතාවට දැන ගත හැකි වනවා ඇත.

    2019 පාස්කු බෝම්බ ප්‍රහරයට ජනාධ්පති විමසුම් කොමිසුමක් පත් කළේ එහි සැබෑ අපරාධකරුවන් දැන ගනීම ස‍ඳහා ය. 1998 .01. 25 දින ශ්‍රී දළදා මාළිගාවට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය නිසැක ලෙස ම දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය(LTTE) විසින් කරන ලද්දකි. එයට ජනාධිපති කොමිසුමක් පත් කිරීමට අවශ්‍යතාවයක් නැත්තේ, එම ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් නිශ්විත බැවිනි.
    2019 පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව කතෝලික ජන සමාජය විසින් එහි සැබෑ අපරාධකරුවන් කවුරුන් ද? යන්න සොයා ගැනීමට වෙහෙසෙති. ඒ පිළිබඳව ඔවුහු නිබඳව රජයට බලපෑම් කරති.

    1989.02.08 දින ශ්‍රී දළදා මාළිගාවට එල්ල කරන ලද ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය ද ඒ අපරාධයට නිශ්චිත විසදුමක් බෞද්ධ ජන සමාජයට ලැබී නැත. එම අපරාධයේ සුළ මුල දැන ගැනීමේ අයිතියක් බෞද්ධ ජන සමාජයට නැතැයි කිසිවෙකුට නො කිය හැකි ය. එබැවින් "ශ්‍රී දන්ත ධාතු මන්දිරයට එල්ල කළ කොමියුනිස්ට්වාදී ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය" පිළිබඳව ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාවක් පත් කොට එම අපරාධයේ සුළ මුල සොයා ගැනීමට, එහි සැබෑ අපරාධකරුවන් කවුරු ද යන්න සොයා ගැනීමට ක්‍රියා කරන ලෙස ලංකාවාසී බෞද්ධ ජන් සමාජය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතු ය. ත්‍රෛනිකායික මහා නායක හිමිවරු ඇතුලු සියලු සංඝ සභා භික්ෂූන් වහන්සේලා, සියලු බෞද්ධ සංවිධාන මේ සඳහා පෙරමුණ ගැනීම සුදුසු බව අපගේ අදහස ය. "පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරුවන් කවුරුද ද?" යන්න සෙවීම සාධාරණ සේ 1989.02.08 දින ශ්‍රී දන්ත ධාතු මන්දිරයට එල්ල කළ කොමියුනිස්ට්වාදී ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුරු ද යන්න සොයා ගැනීම ද අතිශයින් ම සාධාරණ ය.
    ඒ සඳහා සියලු බෞද්ධ ජනතාව විසින් උත්සුක විය යුතුය. එසේ බෞද්ධ ජනතාව විසින් ඉල්ලීමක් නො කළ ද "1989.02.08 ශ්‍රී දන්ත ධාතු මන්දිරයට එල්ල කළ කොමියුනිස්ට්වාදී ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය" පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණට ඇති චෝදනාවෙන් ජනාධිපතිවරයා ඇතුලු තම පක්‍ෂය (ජවිපෙ) නිර්දෝෂී කර ගැනීම ජනාධිපතිවරයාගේ යුතුකම ය. එය ලංකාවාසී බෞද්ධයන්ට කරන අව්‍යාජ සේවයක් ද වනවා ඇත.

    ReplyDelete
Previous Post Next Post