නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහල් පරිශ්‍රයේ පවතින වැසිකිලි, සායනික අපද්‍රව්‍ය සහ සනීපාරක්ෂක කටයුතු වලින් බැහැරවන අපජලය ගලා යන ජලාපවාහන පද්ධතිය රෝහල ඉදිරියෙන් උතුරා ගොස් නාවලපිටිය කොත්මලේ ප්‍රධාන මාර්ගයේ ව්‍යාපාරික ස්ථාන ඉදිරියෙන් ගලායාම නිසා තමන් දැඩි අපහසුතාවකට හා සෞඛ්‍ය ගැටලුවකට මුහුණ පා ඇති බව වෙළෙඳසල් ව්‍යාපාරිකයන් සහ අසල නිවෙස් හිමියන් චෝදනා කර සිටියි.
ඉතා සුළු වර්ෂාපතනයක් ඇද හැලෙන දිනවලදී පවා රෝහලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට ඇති ගලි උතුරා අධික දුර්ගන්ධයක් සහිත ජලය තම ව්‍යාපාරික ස්ථාන ඉදිරියෙන් ගමන් කිරීම නිසා තමන්ට තම ව්‍යාපාර කටයුතු කර ගැනීමට අපහසු වී ඇති බවත්, මෙම අපජලය හරහා ගමන්කර තම වෙළඳසැල්වලට පැමිණෙන පාරිභෝගිකයන්ද අපහසුතාවයට පත් වී දැඩි දුර්ගන්ධය නිසා ඔවුන් තම වෙළඳසැල් මගහරවා යෑමට පුරුදු වී ඇති බවයි වෙලෙදුන් කියා සිටින්නේ.
දෛනිකව විශාල රෝගීන් පිරිසකට ප්‍රතිකාර ලබා දෙන මෙන්ම නේවාසිකව විශාල රෝගීන් සංඛ්‍යාවක් සිටින නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අපජලය රෝහලේ සිට මීටර් පන්සීයක් පමණ දුරින් නාවලපිටිය කොත්මලේ මාර්ගය හරහා ගොස් අපජලය පිරිපහදු ඒකකය වෙත ගෙන ගොස් පිරිපහදු කර මහවැලි ගඟට මුදා හැරීමටයි කටයුතු කර තිබුනේ.
එහෙත් එම ජලාපවාහන පිරිපහදු ඒකකය නිසියාකාර වූ ක්‍රියාත්මක නොවීම නිසා එම ඒකකයට පිටින් අපජලය ජයතිලක ක්‍රීඩාංගණයේ කානු පද්ධතිය හරහා මහවැලි ගඟට එක්වීම දැනට සිදුවෙන බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.
මාස හතරක පමණ කාලයක සිට මෙසේ මහා මාර්ගය මතින් අපජලය ගලායාමට හේතුව පිරිපහදු ඒකකයට රෝහලේ සිට අපජලය පැමිණෙන නල පද්ධතියේ අවහිරතාවයක් නිසා බවත්, අවස්ථා කීපයකදී රෝහල් බලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කළත් තාවකාලික විසඳුම් යෙදූවත් දින කීපයකින් නැවත වැසි වැටෙන විට මෙම ප්රශ්නය උද්ගත වන බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.
මෙම ප්‍රධාන මාර්ගය අවට පාසල් කීපයක් පවතින අතර, අපජලය ගලා යන අවස්ථාවන්හිදී පාසල් නිමවී නිවෙස් වලට සෙසු දරුවන් අපජලය බව නොදැන එම ජලය පාගමින් ගමන් කරන බවත්, මෙහි ඇති අධික දුර්ගන්ධය නිසා සෞඛ්‍ය ගැටලු වලට තමන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි වෙළෙදුන් කියා සිටින්නේ.
මේ පිළිබඳ අප නාවලපිටිය දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂක ජානක සෝමරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, පීඩාවට පත් වන බවට මැසිවිලි නගන අදාල රෝහල් පරිශ්‍රයට යාබද කඩ පේළිය ඉදිකර ඇත්තේ රෝහලේ සිට ජලාපවාහන පිරිපහදු ඒකකයට ජලය රැගෙන යන නල මාර්ගය මත බවත්, එම නිසා නළ මාර්ගය පිරිසිදු කර ගැනීමට ප්‍රායෝගිකව අපහසු වී ඇති බවයි.
මේ පිළිබඳ සෞඛ්‍යය අමාත්‍යාංශය දැනුවත් කිරීමෙන් අනතුරුව මේ වනවිට මෙම නළ පද්ධතිය වෙනුවට විකල්ප නළ පද්ධතියක් ඉදි කිරීමට අවශ්‍යය ප්රතිසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවත්, එතෙක් මෙහි නඩත්තු කටයුතු සඳහා සහාය ලබාදීමට නාවලපිටිය නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට දැනුවත් කර ඇති බවයි නාවලපිටිය දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂකවරයා විඩු ද්රටත් කියා සිටියේ.
වත්මන් රජය බලයට පත්වීමත් සමගම මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රණී තුශාරි ජයසිංහ ඇතුළු පිරිසක් මීට වසරකට පමණ පෙර මෙම පිරිපහදු ඒකකය නිරීක්ෂණයට ලක් කර ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට මැදිහත් වන බව ප්‍රකාශ කළත්, මෙම ජලාපවාහන පද්ධතිය සැකසීම මෙතෙක් සිදුවී නොමැති වීමෙන් ව්‍යාපාරිකයන් හා අසල නිවෙස් හිමියන් තවමත් පීඩා විදින බවයි පීඩාවට පත් ජනතාව කියා සිටින්නේ.
- රංජිත් රාජපක්ෂ

පුනරුදයේ හැටි ඔහොම තමයි. ඉවසපල්ලා ඉවසපල්ලා පචයගේ වාරය ඇවිල්ලා
ReplyDelete