යටත් වෙන්නෑ.. ට‍්‍රම්ප්ට අපාය පෙන්වන බව ඉරානය කියයි...


එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද "පැය 48ක අවසාන නිවේදනය" ඉරානය විසින් සෘජුවම ප්‍රතික්ෂේප කර ඇත. නියමිත කාලය තුළ එකඟතාවකට නොපැමිණියහොත් ඉරානයේ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් විනාශ කරන බවට ට්‍රම්ප් කළ තර්ජනය හමුවේ දෙරට අතර යුදමය උණුසුම දැඩි වී තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරාන මධ්‍යම හමුදා මූලස්ථානය දැඩි ප්‍රතිචාරයක් දක්වා ඇත. ඛාතම් අල්-අන්බියා (මධ්‍යම මූලස්ථානයේ ජෙනරාල් අලි අබ්දුල්ලාහි අලියාබාදි ප්‍රකාශ කළේ, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය "අසරණ, නොසන්සුන්, අසමතුලිත සහ මෝඩ ක්‍රියාවක්" බවයි. 

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට සමාන ස්වරූපයකින් පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, "මෙම පණිවිඩයේ සරල අර්ථය වන්නේ ඔබ වෙනුවෙන් නිරයේ දොරටු විවෘත වන බවයි" යනුවෙනි.

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට හෝ යම් එකඟතාවකට පැමිණීමට ඉරානය අපොහොසත් වුවහොත්, එරටට එරෙහිව දරුණු හමුදා ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් අනතුරු ඇඟවීය.

"ගනුදෙනුවකට එළඹීමට හෝ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට මා ඉරානයට දින දහයක් ලබා දුන් බව මතක තබා ගන්න. දැන් කාලය වේගයෙන් ගෙවී යයි. නිරයේ විනාශය ඔවුන් මත පතිත වීමට පෙර ඉතිරිව ඇත්තේ පැය 48ක් පමණි," යනුවෙන් ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබුණි.

බටහිර ආසියානු කලාපයේ උපායමාර්ගිකව වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය මුල් කරගනිමින් මෙම ගැටුම උත්සන්න වී ඇත. මීට පෙර, ඉරාන රජයේ ඉල්ලීම පරිදි බලශක්ති පද්ධති විනාශ කිරීමේ තීරණය 2026 අප්‍රේල් 6 වන සඳුදා රාත්‍රී 8:00 දක්වා ප්‍රමාද කළ බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි. සාකච්ඡා සාර්ථකව සිදුවන බව මීට පෙර ඉඟි කළද, පවතින තත්ත්වය මත ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඕනෑම මොහොතක ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන ලෙස නියෝග ලැබී ඇත.

ලොව තෙල් ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් පවතින මෙම අර්බුදය, ලෝක ආර්ථිකයට සහ කලාපීය සාමයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විදේශ පුවත් සේවා වාර්තා කරයි.

Previous Post Next Post