පාර්ලිමේන්තු මහ ලේකම්ගේ තීරණයක් අල්ලස් කොමිසම අත්හිටුවයි..


පාර්ලිමේන්තු පරිපාලන දෙපාර්තමේන්තුවේ ආයතන කාර්යාංශයේ උසස් නිලධාරිනියක සඳහා ලබා දී තිබූ ස්ථාන මාරුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කර තිබේ
.

අල්ලස් කොමිසම මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය වෙතය.

මෙම ස්ථාන මාරුවීම අත්හිටුවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, දැනට වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම්ට එරෙහිව පැවැත්වෙන විමර්ශනයකි.

අදාළ නිලධාරිනිය එම විමර්ශනයේ ප්‍රධානතම සාක්ෂිකාරියක වන බැවින්, ඇයගේ ස්ථාන මාරුවීම විමර්ශන කටයුතුවලට බාධාවක් විය හැකි බව අල්ලස් කොමිසම පෙන්වා දී ඇත.

අදාළ නිලධාරිනිය පසුගිය 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මහජන පෙත්සම් කාරක සභාව වෙත මාරු කර යැවීමට පාර්ලිමේන්තු මහලේකම්වරිය පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත්, අල්ලස් කොමිසම දැනුම් දී ඇත්තේ අදාළ විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඇයගේ ස්ථාන මාරුවීම ක්‍රියාත්මක නොකරන ලෙසයි.

1 Comments

Previous Post Next Post