ඇමරිකාව යලිත් රුසියා, ඉරාන තෙල්වලට සම්බාධක පනවයි...

 


රුසියාවෙන් සහ ඉරානයෙන් බොරතෙල් මිලදී ගැනීම සඳහා මෙතෙක් ලබා දී තිබූ සම්බාධක නිදහස් කිරීමේ සහන කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට අමෙරිකානු රජය තීරණය කර ඇත. අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.

රුසියානු සහ ඉරාන තෙල් සඳහා ලබා දී තිබූ පොදු බලපත්‍ර අලුත් නොකරන බවත්, මාර්තු 11 දිනට පෙර නෞකාගත කර තිබූ තෙල් ප්‍රමාණයන් මේ වන විට භාවිත කර අවසන් බවත් ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවට පනවා ඇති සම්බාධක මධ්‍යයේ වුවද, රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා ඉන්දියාවට මාර්තු 5 වනදා දින 30ක විශේෂ සහන කාලයක් අමෙරිකාව විසින් ලබා දෙන ලදී. පසුව තවත් රටවල් කිහිපයකට මෙම සහනය ව්‍යාප්ත කිරීමට පියවර ගත් අතර, එම සහන කාලය අප්‍රේල් 11 වනදායින් අවසන් විය.

ලෝක වෙළඳපොළේ තෙල් සැපයුම අඩාල වීම වැළැක්වීම සහ මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම කෙටිකාලීන සහනය ලබා දුන් බවත්, එය රුසියාව සම්බන්ධ අමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් නොවන බවත් අමෙරිකානු බලධාරීන් අවධාරණය කරයි.

බලශක්ති සහ පිරිසිදු වාතය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවකට අනුව, පසුගිය මාර්තු මාසයේදී ඉන්දියාව රුසියානු ඉන්ධන මිලදී ගැනීම විශාල ලෙස ඉහළ නංවා ඇත.

මාර්තු මාසයේදී ඉන්දියාව යුරෝ බිලියන 5.8ක් වටිනා රුසියානු හයිඩ්‍රොකාබන ආනයනය කර ඇත. මින් යුරෝ බිලියන 5.3ක්ම වැය කර ඇත්තේ බොරතෙල් සඳහා වන අතර, එය පෙබරවාරි මාසයට සාපේක්ෂව තෙගුණයක වැඩිවීමකි. මීට අමතරව ගල්අඟුරු (යුරෝ මිලියන 337) සහ අනෙකුත් තෙල් නිෂ්පාදන (යුරෝ මිලියන 178.5) ද ආනයනය කර තිබේ.

මේ අනුව 2026 මාර්තු මාසයේදී රුසියානු පොසිල ඉන්ධන මිලදී ගත් ලොව දෙවන විශාලතම ගැනුම්කරු බවට ඉන්දියාව පත්ව ඇත.

Previous Post Next Post