සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සදහා හැටන් ලංගම ඩියෝවෙන් නිර්මාණය කරන ලද සියලුම පහසුකම්වලින් සමන්විත සංචාරක සෆාරි බස් රථයක් (06) දින ධාවනයට එක් කරවන බව හැටන් ලංගම ඩිපොවේ කලමණාකාර එම්. පාලිත බණ්ඩාර මහතා පැවසීය.
හැටන් ලංගම ඩිපෝවේ නිර්මාණය කරන ලද සංචාරක සෆාරි බස් රථය (03) දින ඩිපෝව තුල නිරික්ෂණය කිරිමේ අවස්ථාවට එක් වෙමින් ඩිපෝ කළමණාකාරවරයා ඒ බව පැවසීය.
රත්මලාන ඩිපෝවෙන් මීට වසර 2කට ප්‍රථම ලබා ගන්නා ලද පැරණි බස් රථයක් අලුත්වැඩියා කර එම බස් රථය සංචාරක සෆාරි බස් රථයක් වශයෙන් නිර්මාණය කිරිමට රු.ලක්ෂ 40ක පමණ මුදලක් වැය වූ බවත්, එම බස් රථය ආසන 42කින් සමන්විත බවයි හැටන් ලංගම ඩිපෝවේ ධාවන ඩිපෝ ඉංජිනේරු තුෂාර අඹේරත්න මහතා කියා සිටියේ.
තම ඉංජිනේරු අංශයේ සේවකයන්ගේ දැඩි කැපවීම මත මෙම සංචාරක සෆාරි බස් රථය නිර්මාණය කිරිමට හැකි වූ බවත්, එම බස් රථයට ස්ටීරියෝ නාද රටා සහිත ශබ්ද විකාශන පද්ධතියක්, ශීතකරණයක්, රූපවාහිනි යන්ත්‍රයක් ධාවනයට එක් කිරිමට ප්‍රථම සවි කරන බවයි ඩිපෝ ඉංජිනේරුවරයා කියා සිටියේ.
එම බස් රථය තුල ගමන් කිරිමෙදි බස් රථයේ වහල සහ ජනේල විවෘත කර ගමන් කිරිමට හැකි ආකාරයෙන් විශේෂ ටෙන්ට් රෙද්දකින් ආවරණය කර ඇති බවත්, මුළු බස් රථයම සංචාරකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට හැකි ආකාරයට නිර්මාණය කර ඇති බවයි හැටන් ලංගම ඩිපෝවේ ධාවන ඩිපෝ ඉංජිනේරු තුෂාර අඹේරත්න මහතා වැඩි දුරටත් කියා සිටියේ.
මධ්‍යම පළාත තුල මෙවැනි බස් රථයක් දැනට පවතින්නේ හැටන් ලංගම ඩිපෝවේ පමණක් බවත්, එම බස් රථය (06) වන දින සිට ශ්‍රී පාදස්ථානය සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ සංචාරක කලාප ආවරණය වන පරිදි ධාවනයට එක් කිරිමට සැළසුම් කර ඇති බවත්, දෙස් විදෙස් ඕනෑම සංචාරකයෙකුට ලබන (06) දින සිට දිවයිනේ ඕනෑම සංචාරක ස්ථානයකට යෑමට මෙම සංචාරක සෆාරි බස් රථය වෙන් කර ගත හැකි බවයි ඩිපෝ කලමණාකාරවරයා කියා සිටියේ.
එම බස්රථයට අලුත් නිළ ඇදුමකින් සැරසුනු රියදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු යොදවන බවයි හැටන් ලංගම ඩිපොවේ කලමණාකාර එම්. පාලිත බණ්ඩාර මහතා කියා සිටියේ.
- රංජිත් රාජපක්ෂ



මේකේ නැඟලා ලාල් ලෑ ගෙදර යන් ද?
ReplyDelete