සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තමන් නිෂ්පාදනය කරන කැවුම් සදහා විශාල ඉල්ලුමක් ලැබී ඇති බව මස්කෙළිය බොටින්හැම් වතුයායේ පදිංචි කේ.ඒ.තිලක් කල්‍යාණවතී මහත්මිය පවසයි.
රටටම කැවුම් සහ රසකැවිලි බෙදාහැරීමට මේ දිනවල කැවුම් නිෂ්පාදනය කරන අයුරු දැක බලා ගැනීමට (09) දින අප ඇයගේ නිවසට ගිය අවස්ථාවේ කැවුම් බදිමින් සිටි කල්‍යාණවතී මහත්මිය අප සමග මෙසේ පැවසීය.
“මට වයස අවුරුදු 66යි. මම අවුරුදු 46ක් තිස්සේ සිංහල හින්දු අලුත් අවුරුද්දට සහ අනෙකුත් උත්සව අවස්ථාවල ජීවනෝපායක් වශයෙන් කැවුම් නිෂ්පාදනය කරනවා. මගේ අම්මා තාත්තගෙන් තමයි මම කැවුම් හදන්න ඉගෙන ගත්තේ. මම මුල් කාලේ පටන් ගන්නකොට මගේ දරුවන්ගෙන් මට උදව් තිබුණා. එ ගොල්ලන් බැදලා ගියාට පස්සේ මගේ ලේලිගෙනුයි මගේ මහත්තයාගෙනුයි තමයි මට උදව් ලැබෙන්නේ.
මහත්තයාට හොදට ආස්මි හදන්න පුළුවන්. අනිත් හැමදේම හදන්නේ මම. මේ සැරේ රාජ්‍ය ආයතන වලින්, පෞද්ගලික අංශවලින්, සිංහල දෙමළ ජනතාවගෙන් කැවුම්වලට විශාල ඉල්ලුමක් ලැබිලා තියනවා. කැවුම් හදන්න ගන්න අමුද්‍රව්‍ය වල මිල ඉහළ ගිහිල්ලා. පොල්තෙල්වලත් මිල ඉහළ ගිහිල්ලා. ඒත අපි ගිය සැරේට වඩා මේ සැරේ කැවුම්කට රු.10 ඉදන් 15 වෙනකම් වැඩි කරා. එහෙම ගොඩක් ගාන වැඩි කරලත් බැ. මට ඇනවුම් දෙන අයත් පව්.
කොන්ඩ කැවුමක් රු.60/=, මුංකැවුම් රු.40/=, කොකිස් 20/=, අලුවා රු.40/=, ආස්මි රු.130/=, පැණි වලල්ක් රු.40/=, දොදොල් රු.1200/= කට තමයි මම විකුණන්නේ.
මට මේ රැකියාව අත්හරින්නත් බෑ ජීවනෝපායක් හැටියට තමයි කරන්නේ. මුණ නුවරඑලිය දිස්ත්‍රික්කය පුරාමත්, නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් පිටත් මම ඇනවුමට කැවුම් හදලා එයාලට කිව්වාම එයාලා ඇවිත් කැවුම් ටික අරන් යනවා.
මම පදිංචි වෙලා ඉන්නේ වත්තක. දමිළ ජනතාවත් සිංහල හින්දු අලුත් අවුරුද්දට මගෙන් කැවුම් මිලදී ගන්නවා. ඒ ගොල්ලන් අවුරුදු සමරන්නෙත් සිංහල සිරිතට අනුව හදපු කැවුම් වලින්.”යනුවෙන් පැවසීය.
- රංජිත් රාජපක්ෂ
