ඉරාන වරායන් ඉලක්ක කරගනිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති නාවික අවහිරතා හමුවේ, චීන නාවික හමුදාවට අයත් ප්‍රබල යුද නෞකා බලඇණියක් කලාපය තුළ ක්‍රියාත්මක වීමත් සමඟ චීනය සහ ඇමරිකාව අතර සෘජු නාවික ගැටුමක් ඇතිවීමේ අවදානමක් මතුව තිබේ.
චීන නාවික හමුදාවේ 48 වන ආරක්ෂක බලඇණිය (48th Escort Fleet) මේ වන විට ඒඩන් බොක්ක සහ අරාබි මුහුදු කලාපයේ මෙහෙයුම් සිදු කරමින් පවතින බව චීනය නිල වශයෙන් තහවුරු කර ඇත.
මෙම ප්‍රහාරක බලඇණියට චීනයේ නවීනතම යුද නෞකා Tangshan (122) මිසයිල ප්‍රහාරක නෞකාවක් (Guided-missile destroyer), Daqing (576) මිසයිල ප්‍රහාරක නෞකාවක් (Guided-missile frigate), Taihu සැපයුම් නෞකාවක් (Replenishment vessel), මීට අමතරව හෙලිකොප්ටර් යානා සහ විශේෂ මෙහෙයුම් බලකා සාමාජිකයින් ද ඇතුළත් කර ඇත.
ඇමරිකානු නාවික හමුදාව විසින් ඉරානයට යන සහ එන නෞකා පරීක්ෂා කිරීමේ සහ අවහිර කිරීමේ මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ චීනය මෙම පියවර ගෙන තිබේ. ඉරානයෙන් බොරතෙල් ආනයනය කරන ප්‍රධානතම රට චීනය වන අතර, සිය තෙල් නැව්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම යුද නෞකා යොදවා ඇති බවට ජාත්‍යන්තර ආරක්ෂක විශ්ලේෂකයෝ අනුමාන කරති.
කෙසේ වෙතත්, චීන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ මෙය සාමාන්‍ය මුහුදු කොල්ලකරුවන් මර්දනය කිරීමේ මෙහෙයුමක් පමණක් බවයි. නමුත් ඇමරිකාවේ ක්‍රියාව "අනතුරුදායක සහ වගකීම් විරහිත" බව පවසමින් චීනය එය දැඩි ලෙස විවේචනය කර තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ලෝකයේ බලවත්ම නාවික හමුදා දෙක මෙලෙස මුහුණට මුහුණ ලා සිටීම ගෝලීය බලශක්ති වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කර ඇත. චීනය සිය නාවික බලය ජිබුටි (Djibouti) හි පිහිටි සිය හමුදා කඳවුර හරහා මෙහෙයවමින් සිටින අතර, ඕනෑම මොහොතක හෝමුස් සමුද්‍ර සන්ධිය දෙසට යාත්‍රා කිරීමට ඔවුන් සූදානමින් සිටින බව වාර්තා වේ.
ඉරාන තෙල් ප්‍රවාහනය කරන චීන නැවක් පරීක්ෂා කිරීමට ඇමරිකානු හමුදා උත්සාහ කළහොත්, එය ලෝක බලවතුන් දෙදෙනා අතර සෘජු යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බවට විදෙස් මාධ්‍ය අනතුරු අඟවයි.

නවීන කිව්වට මේවල යකඩ අලුත්, පේන්ට් අලුත්, කම්පියුටර් අලුත්, පුටු අලුත්, මේස අලුත්, පිඟන් කෝප්ප අලුත්, එව්වලින් දමල ගහන්ඩ තියෙන්නෙ.
ReplyDelete