ඉරානය සමඟ පවතින යුද ගැටුම් සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තීරණාත්මක වනු ඇති බවත්, ඉරානය එකඟතාවයකට නොපැමිණෙන්නේ නම් ගැටුම් තවදුරටත් උත්සන්න වනු ඇති බවත් අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ඉකුත් අනතුරු ඇඟවීය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සාමකාමී එකඟතාවයකට එළඹීමට සූදානම් වුවද, ඉරානය ඊට අනුගත නොවන්නේ නම් යුද්ධය දිගටම කරගෙන යාමට අමෙරිකාව සූදානම් බව හෙග්සෙත් මහතා අවධාරණය කළේය. "අප සතු විකල්ප දිනෙන් දින වැඩි වන අතර, ඉරානය සතු විකල්ප අඩුවෙමින් පවතී. ඉදිරි දින කිහිපය තීරණාත්මකයි," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
අමෙරිකානු ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් කලාපයේ පවතින ප්‍රධාන පෙළේ අමෙරිකානු සමාගම් ඉලක්ක කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය තර්ජනය කර ඇත. මෙම තර්ජනයට ලක් වූ සමාගම් 18 අතරට මයික්‍රොසොෆ්ට් (Microsoft), ගූගල් (Google), ඇපල් (Apple), ටෙස්ලා (Tesla) සහ බෝයිං (Boeing) වැනි ලොව සුපතළ සමාගම් ද ඇතුළත් වේ.
ඩුබායි වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී පූර්ණ ධාරිතාවයෙන් යුත් තෙල් නැවකට ඉරානය විසින් ගිනි තැබීමත් සමඟ ගෝලීය බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. කුවේට් ධජය යටතේ ගමන් කළ 'අල්-සල්මි'නමැති මෙම නෞකාව ඉලෙක්ට්‍රොනික ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති අතර, ඉන් එහි බඳට හානි සිදුව ඇතත් කාර්ය මණ්ඩලයට හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.
මේ අතර පවතින උණුසුම් තත්ත්වය හමුවේ වහාම සටන් විරාමයකට එළඹෙන ලෙස චීනය සහ පකිස්ථානය දෙපාර්ශවයෙන්ම ඉල්ලීමක් කර ඇත. කෙසේ වෙතත්, අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් පසුගිය මාසය පුරා එල්ල කරන ලද දැඩි ප්‍රහාර හමුවේ වුවද ඉරානය තවමත් දැඩි මතයක සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාසයක් පුරා පැතිර ගිය මෙම යුද ගැටුම් හේතුවෙන් මේ වන විට දහස් ගණනක් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ගෝලීය ආර්ථිකයට ද දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.
