ඩොලරය 370දී අනුරට ගෝටාභය හමුවේ..


වත්මන් පාලන තන්ත්‍රය දැඩි අස්ථාවරත්වයකට මුහුණ දී ඇති බවත්
, ඩොලරයේ අගය රුපියල් 370 සීමාවට පැමිණි විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත් වීමට සිදු වූයේ ඩොලරයේ අගය රුපියල් 370 සීමාවේ පැවති අවස්ථාවේදී බවයි.

මේ වන විට ඩොලරයේ අගය රුපියල් 338ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 370 සීමාවට පැමිණි විට වත්මන් ජනාධිපතිවරයාට ද එම අර්බුදයටම මුහුණ දීමට සිදු වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

රටේ පරිපාලන ව්‍යුහය තුළ ද බිඳවැටීමක් දක්නට ලැබෙන බව පවසන ජයසේකර මහතා, ඉදිරි දින කිහිපය ඇතුළත මෙරට ප්‍රධානතම පරිපාලන නිලධාරියෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවට තොරතුරු ඇතැයි අනාවරණය කළේය.

මේ වන විටත් එක් ආණ්ඩුකාරවරයෙකු ඉල්ලා අස්වී ඇති බවත්, ඉදිරි දිනවලදී තවත් ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුම ඉල්ලා අස්වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වත්මන් රජය වැඩ බැරි ආණ්ඩුවක් ලෙස හඳුන්වන දයාසිරි ජයසේකර මහතා, පාලන බලය පවත්වාගෙන යාම සඳහා රජය විසින් මීට පෙර හොරුන් සහ දූෂිතයන් ලෙස හඳුන්වනු ලැබූ අනෙකුත් දේශපාලන පක්ෂවල පිරිස්ම එකතු කරගැනීමට උත්සාහ දරමින් සිටින බවට චෝදනා කළේය.

එසේම, ආණ්ඩුව ලබා ගැනීම සඳහා ඇතැම් පිරිස් පසුපස දොරෙන් ගොස් විවිධ ගනුදෙනු සිදු කරන බවත්, සජිත් ප්‍රේමදාස මහතා වැනි විපක්ෂයේ නායකයින්ට පවා ආරාධනා කරන්නේද යන්න පිළිබඳව සැකයක් පවතින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය



Previous Post Next Post