හෝමුස් මෙහෙයුම නවත්වනවා..- ට‍්‍රම්ප්

 


හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා අමෙරිකානු හමුදාව දියත් කළ ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ (Project Freedom) මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. 

ඉරාන නියෝජිතයන් සමඟ පවත්වන සාකච්ඡාවල "විශාල ප්‍රගතියක්" පවතින බැවින්, අවසන් එකඟතාවකට එළඹීම සඳහා කෙටි කාලයකට මෙම මෙහෙයුම අත්හිටුවන බව ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසා සිටියේ අමෙරිකාව තවමත් "උපරිම පීඩනය යෙදීමේ ප්‍රතිපත්තියක්" අනුගමනය කරන බවයි. අමෙරිකාවේ ඒකපාර්ශ්වික ඉල්ලීම්වලට අවනත වීම ඉරානයට කිසිසේත්ම කළ නොහැකි බව ද ඔහු අවධාරණය කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසන්නේ අඛණ්ඩව දෙවන දිනටත් ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලට තමන් මුහුණ දුන් බවයි. එහෙත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

හෝමුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් තිබූ සාමාන්‍ය මගී යාත්‍රාවලට ඇමෙරිකානු හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් පස් දෙනෙකු මියගොස් ඇති බවට ඉරානය චෝදනා කරයි. 

ඇමෙරිකානු හමුදා එම යාත්‍රා විප්ලවීය ආරක්ෂක බලකායට අයත් වේගවත් ප්‍රහාරක යාත්‍රා ලෙස වරදවා වටහාගෙන ඇති බව ඉරාන පාර්ශවය පෙන්වා දෙයි.

දකුණු ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාර තවදුරටත් ක්‍රියාත්මක වේ. ප්‍රහාර එල්ල කිරීමට ප්‍රථමයෙන් ගම්මාන සහ නගරවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලය එරට ජනතාවට අලුතින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කළ පරිදි, මෙම යුදමය තත්ත්වය හේතුවෙන් අමෙරිකාව තුළ පෙට්‍රල් මිල අධික ලෙස ඉහළ ගොස් ඇති අතර එය ට්‍රම්ප් පාලනයට දැඩි දේශපාලන පීඩනයක් එල්ල කර තිබේ.

Previous Post Next Post