දැරියකට අතවර කලාට අටමස්ථානාධිපති හිමි අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කරයි...

 


15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව, අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ අදාළ දැරියගේ මව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා අද (08) නිට්ටඹුව පොලිසියට නියෝග කළේය.

සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින පල්ලේගම හේමරතන හිමියන්ට විදෙස්ගත වීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයා වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් නියෝගයක් ද අධිකරණය විසින් නිකුත් කරන ලදී.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ මහත්මියගේ උපදෙස් මත එම අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජීවනී අබේරත්න මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නියෝග ලබා ගැනීමට කටයුතු කළාය. 

මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකෙරෙන හිමිනම අත්අඩංගුවට නොගත්තේ මන්දැයි අවස්ථා කිහිපයකදී ලිඛිතව හා වාචිකව විමසුවද පොලිසිය ඊට නිසි ප්‍රතිචාර දක්වා නොමැත.

පොලිස් පරීක්ෂණවල මන්දගාමී ස්වභාවය හේතුවෙන් අගතියට පත් දැරියට යුක්තිය ඉටුකිරීම සඳහා මෝසමක් මගින් මෙම නඩුව කැඳවීමට අධිකාරිය තීරණය කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අටමස්ථානාධිපති හිමියන් සහ දැරියගේ මව මෙම අපරාධයේ සැකකරුවන් ලෙස නම් කිරීමට නිට්ටඹුව පොලිසියට අවසර ලබා දුන්නේය. ඒ අනුව ඔවුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම විය.

මෙම සිද්ධියට අදාළව මීට පෙර තවත් සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක වූ අතර, 22424/2026 බී අංකය යටතේ නඩුව විභාගයට ගැනේ.

2 Comments

  1. අනේ කාලේ වනේ වාසේ කිව්වලු...

    ReplyDelete
  2. අහවලා පුන්චි අම්ම එක්ක ලැග්ගට හිරේ දාන්නෙ නැතෙයි.

    ReplyDelete
Previous Post Next Post