ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් අද (මැයි 01) සිදු කිරීමට නියමිතව තිබූ ඉන්ධන මිල සංශෝධනය සිදු නොවන බව නිවේදනය කර ඇත.
මිල සංශෝධනය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක සාකච්ඡාව මෙතෙක් පවත්වා නොමැති වීම මීට හේතුව බව සංස්ථා ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මැයි මාසය සඳහා වන මිල සමාලෝචනය අප්‍රේල් 30 වනදා පැවැත්වීමට මීට පෙර අපේක්ෂා කළද, එදින එවැනි රැස්වීමක් පවත්වා නොමැත.
ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළ අදාළ සාකච්ඡා පවත්වා අවසන් වූ පසු මිල සංශෝධනයක් සිදු කරන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ඉන්ධන මිල අවසන් වරට සංශෝධනය කරනු ලැබුවේ පසුගිය මාර්තු මස 21 වනදාය. එතැන් සිට ක්‍රියාත්මක වූ මිල ගණන් නව මිල සංශෝධනයක් සිදුවන තෙක් තවදුරටත් නොවෙනස්ව පවතිනු ඇත.
