හෝමුස් සටන ඉන්දීය සාගරයට.. මලක්කා සමුද්‍ර සන්ධිය යුද්දයක් අසලම.. චීන කෝප ගන්වමින් ඇමෙරිකා, ඉන්දුනීසියා ගිවිසුමක්


 ගෝලීය තෙල් ප්‍රවාහනයේ තීරණාත්මක මර්මස්ථානයක් වන මලක්කා සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කරගනිමින් නව භූ-දේශපාලනික අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් වාර්තා පවසයි. 

පසුගිය අප්‍රේල් 13 වනදා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දුනීසියාව අතර අත්සන් කරන ලද 'ප්‍රධාන ආරක්ෂක සහයෝගිතා හවුල්කාරිත්වය' (MDCP) මෙම තත්ත්වයට සෘජුවම බලපා තිබේ.

2026 පෙබරවාරි අගභාගයේ සිට ලෝකයේ මුහුදු මාර්ගවල සිදුවූ වෙනස්කම් සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින අස්ථාවරත්වය හමුවේ, ලෝක බලශක්ති සැපයුමේ වඩාත්ම අවදානම් සහගත ස්ථානය ලෙස මලක්කා සමුද්‍ර සන්ධිය හඳුනාගෙන ඇත. 

මෙම පසුබිම තුළ ඇමෙරිකානු හමුදාවන්ට ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු කලාපයේ මෙහෙයුම් දායකත්වය පුළුල් කිරීමට අවස්ථාව ලැබීම ලෝක දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මෙම ආරක්ෂක ගිවිසුම මගින් චීනය දීර්ඝ කාලයක සිට මුහුණ දෙන 'මලක්කා අර්බුදය' තවදුරටත් උග්‍ර වනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති. චීනයේ බලශක්ති අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපුරා ගන්නා තෙල් නැව් ගමන් කරනුයේ මෙම පටු සමුද්‍ර සන්ධිය හරහාය. යම් හෙයකින් ගැටුම්කාරී තත්ත්වයකදී ඇමෙරිකානු බලපෑම මත මෙම මාර්ගය අවහිර වුවහොත්, එය චීනයේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

වොෂින්ටනය සහ ජකර්තා පාලනය මෙම ගිවිසුම මගින් කලාපීය ස්ථාවරත්වය සහ ස්වෛරීභාවය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළද, මලක්කා සමුද්‍ර සන්ධිය ආසන්නයේ ස්ථාවර හමුදාමය රැඳී සිටීමක් සඳහා මෙමගින් ඉඩ ප්‍රස්ථා සැලසෙන බව 'ඩිෆෙන්ස් සිකියුරිටි ඒෂියා' වාර්තාව පෙන්වා දෙයි.

ඒ අනුව, ගිනිකොනදිග ආසියානු කලාපයේ බලතුලනය වෙනස් කරමින් ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාවතක් වන මලක්කා සමුද්‍ර සන්ධිය ඉදිරි කාලයේදී ලෝක බලවතුන්ගේ දැඩි බලපෑමට නතු වනු ඇතැයි අනුමාන කෙරේ.

Previous Post Next Post