පෙර රජවරුන් වගේ තීන්දු ගන්න සූදානම්..- ජනපති


 රට තුළ ආර්ථික ප්‍රබෝධයක් ඇති කිරීමේදී ආගමික ප්‍රබෝධයක් අත්‍යවශ්‍ය බවත්, සම්බුදු සසුන සහ ධර්මය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස හදුනා ගනිමින්, ඒ වෙනුවෙන් අත්වැල් බැඳ ගැනීම වෙසක් පුන් පොහෝ දින අපිට එළැඹිය හැකි හොඳම අදිටන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (27) පස්වරුවේ තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

බුදු දහම වර්තමානයේ ජීවත් වන අපිට හෝ  සිවුරක් දරා වැඩ සිටින ස්වාමීන් වහන්සේට පමණක් හිමි නොවන අතර, සම්බුදු දහම සමස්ත ලෝකවාසීන්ගේ විමුක්තිය සහ හිත සුව පිණිස දේශනා කරන ලද්දක් බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මහා සංඝරත්නයට, සංඝ සංස්ථාව විනයධරව පවත්වාගෙන යාමට අවශ්‍ය නීති ඉක්මනින් සම්පාදනය කර දීමට රජය අපේක්ෂා කරන බවද පැවසීය. 

ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් වූ 2026 වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “දක්ෂිණා ප්‍රභා” නමින්  “අභිත්ථරේථ කල්‍යාණේ” තේමාව යටතේ  ජාතික වෙසක් සතියට සමගාමීව අද සිට ජුනි 01 දක්වා මාතර නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. 

“දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍යය ප්‍රතිපත්ති පූජා කලාපය සහ ආමිස පූජා කලාපය යනුවෙන් වෙසක් කලාප දෙකකින් සමන්විත  අතර, මාතර ඓතිහාසික කොටු පවුර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රතිපත්ති පූජා කලාපය සහ මාතර නගරය සහ වෙරළ උද්‍යානය ආශ්‍රිතව ආමිස පූජා කලාපය පැවැත් වේ. ප්‍රතිපත්ති පූජා කලාපය තුළ සර්වඥ  ධාතු ප්‍රදර්ශනය, ප්‍රවීණ දේශකයන් වහන්සේලා සහභාගී වන ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මෙන්ම, කවි බණ සහ, දාන, ශීල භාවනා වැඩසටහන්ද සංවිධානය කර ඇත.

කොටු පවුර සහ නගර මධ්‍යයේ ඉදිවන දැවැන්ත තොරණ, මාතර වෙරළ උද්‍යානයේ පැවැත්වෙන නිර්මාණාත්මක පහන් කූඩු තරගය සහ පරෙවි දූපත අසල මුහුදු වෙරළේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඉදිරිපත් කරන භක්ති ගීත ප්‍රසංග සහ දකුණේ සාම්ප්‍රදායික කලාව ප්‍රදර්ශනය කෙරෙන රූකඩ සංදර්ශන සහ සංස්කෘතිකාංග රැසකින් ආමිස පූජා කලාපය සමන්විතය. එමෙන්ම සුවිශේෂී ආකර්ෂණීය අංග කිහිපයකින්ද මෙය විචිත්‍රවත් කෙරෙන අතර අහසේ මැවෙන බෞද්ධ සංකේත සහ රටා සහිත AI තාක්ෂණය යොදා ගනිමින් සිදු කෙරෙන නවීන තාක්ෂණික සංදර්ශනය, දකුණට ආවේණික රූකඩ කලාව මගින් ජාතක කථා ඉදිරිපත් කිරීම, LED තිර ප්‍රදර්ශන මගින් නගරය පුරා ඩිජිටල් ජාතක කථා සහ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සිදු කිරීමට නියමිතය.

රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඡායාරූප ප්‍රදර්ශනයද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අතර ඡායාරූප ප්‍රදර්ශනය නැරඹීමටද ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක් වූහ.

2570 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් නිකුත් කෙරණු විශේෂ සමරු මුද්දරය සහ මාතර දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථාන ත්‍රිත්වයක් මුල් කර ගනිමින් නිර්මාණය කෙරුණු  වෙසක් සමරු මුද්දර ත්‍රිත්වයක් නිකුත් කිරීමද මෙහිදී සිදු කෙරුණු අතර එහි පළමු මුද්දරය ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

දකුණු පළාතේ ඓතිහාසික වැදගත්කමකින් යුත් සිද්ධස්ථාන කිහිපයක් වෙත පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය.

රාජ්‍ය වෙසක් මහෝත්සවය ඇමතූ ජනාධිපති අනුර කුමාර දසානායක මහතා,

අද අපි සහභාගී වී සිටින්නේ ලංකාවේ පැවැත්වෙන ඓතිහාසික වූත් වැදගත් වූත් අවස්ථාවකටයි. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වූ ඉතාමත් ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ නමක්. උන්වහන්සේගේ උපත, සම්බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය මේ වෙසක් පසළොස්වක පුන් පොහොය දිනයට යෙදී තිබෙනවා. උන්වහන්සේගේ  තෙමඟුල දීර්ඝ කාලයක් පුරා අප විසින් සමරනු ලබනවා. ශත වර්ෂ ගණනාවක් එම ධර්මය නොනැසී රඳා පැවතීමේ රහස කුමක්ද? උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 236කට පසුව එනම් අද සිට බැලුවොත් වසර 2334කට පෙර බුදු දහම ලංකාවට ආගමනය සිදු වුණා. වසර 2334ක චිරාත් කාලයක් එම බුදු දහම නොනැසී, එම හරය ආරක්ෂා කර ගනිමින් පැවතීමේ රහස වන්නේ උන්වහන්සේගේ දහම හේතුඵල වාදය මත පදනම් වී තිබීම සහ යථාර්ථවාදී දහමක් වීම නිසා කියා මම සිතනවා. උන්වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද දහම උන්වහන්සේ  බුද්ධත්වයට පත්ව එළැඹි පළමු ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේදීම 60 නමකට දේශනා කළා. 

එහිදී උන්වහන්සේ අනුදැන වදාළේ මෙම ධර්මය  බහුජන හිතසුව පිණිස දේශනා කරන්න කියලා. එනම් මේ දහම රඳා පැවතීමේ ප්‍රධාන සාධකය දහමේ තිබෙන හේතුඵල වාදයයි. දෙවන සාධකය වන්නේ ධර්මධර, විනයධර අපේ හාමුදුරුවන් වහන්සේලායි. දීර්ඝ කාලයක් මේ දහම රඳා පැවතුණේ මුඛ පරම්පරාවෙන්. ධර්මය ග්‍රන්ථාරූඪ කරන තෙක් ඇතැම් විට ස්වාමීන් වහන්සේ නමකට මේ සියල්ල එකට මතක තබා ගැනීම සහ දුෂ්කර ක්‍රියාවක් වන්නට ඇති. ඒ නිසා එක් එක් නිකායන්ට අනුව බෙදා මුඛ පරම්පරාවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ධර්මධර, විනයධර මහා සංඝරත්නය විශාල කැපවීමක් සිදු කළා.

එහිදී අපි දන්නවා දීඝ නිකාය, දීනක භාණකවරුන් විසින්ද, මජ්‌ඣිම නිකාය,  මජ්‌ඣිම භාණකවරුන් විසින්ද, සංයුත්ත නිකාය සංයුත්ත භාණකරුවන් විසින්ද මුඛ පරම්පරාවෙන් ඉදිරියට ගෙන එනු ලැබුවා. මෙලෙස දහම සහ එහි හරය සහ පදනම නොනැසි ශත වර්ෂ ගණනාවක් අපේ මහා සංඝරත්නය  මුඛ පරම්පරාවෙන් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන ආවා. අනතුරුව වළගම්බා රජ සමයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර ලිඛිතව ආරක්ෂා කළා. 

අද පන්සලේ බණ පොත් වහන්සේ වැඩ සිටිනවා. එහෙත් පන්සලේ වැඩ සිටින බණ පොත් වහන්සේගේ හරය අපේ බෞද්ධ ජනතාව වෙත ගෙන යන්නේ කවුද?  මම දැක නැහැ බණ පොතක් පෙරළාගෙන පිටුවෙන් පිටුව ධර්මය දේශනා කරන අපේ හාමුදුරුවන් වහන්සේ  නමක්. අපේ හාමුදුරුවන් වහන්සේ ධර්මය අධ්‍යයනය කර එම දැනුම එක් කරගෙන ජනතාවට දේශනා කරනවා. 

1931 විහාර දේවාලගම් පනත 41 සහ 42 වගන්ති සංශෝධනය කරන්න කියා ඉල්ලීමක් කළා. ඒ වගේම නැවත ධර්ම අධිකරණය සඳහා තමන්ගේ හාමුදුරුවන් වහන්සේලාගේ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තිබෙන බලය ලබා දෙන්න කියලා ඉල්ලා සිටියා. විහාර දේවාලගම් පනත 41 සහ 42 වගන්ති සංශෝධනය කර දෙන්න කියා අපේ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද ලිඛිතවද මා වෙත ඉල්ලීමක් කර තිබුණා. අපේ අමාත්‍යවරයා ඒ පිළිබඳ සංකල්ප පත්‍රයක් ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලය ඊට එකඟතාව පළ කළ. ඒ අනුව සංශෝධනයක් සකස් කළා. අප දන්නවා ඕනෑම සංශෝධනයක් නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතියට ලක් විය යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව ඊට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කර තිබූ අතර පසුගියදා අපේ මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර මහා නිකායේ ලේඛකාධිකාරී මහානායක ස්වාමීන් වහන්සේ සහ බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා සහ නීතිපතිතුමා සමග සාකච්ඡාවක් පැවැත්වීමට මම කටයුතු සංවිධානය කර දුන්නා. එම සාකච්ඡාවේදී අවසන් එකඟතාවකට එළැඹීමට හැකි වූ බව ගෞරවනීය ස්වාමින් වහන්සේලා මා වෙත දැනුම් දුන්නා. එම නිසා අපි ඉතා ඉක්මනින් ඔබවහන්සේලාට සංඝ සංස්ථාව විනයධරව පවත්වාගෙන යාමට අවශ්‍ය නීති සම්පාදනය කර දෙනවා. 

මේ දහම වර්තමානයේ ජීවත්වන අපිට, එසේ නොමැතිව සිවුරක් දරාගෙන වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට  පමණක් හිමි නැහැ. මේ දහම අපි හැම කෙනාටම තමන්ගේ විමුක්තිය වෙනුවෙන් හිතසුව පිණිස වෙනුවෙන් දේශනා කළ දහමක්. එසේ නම් අපි හැම දෙනාටම මේ දහමේ හරය විනාශයට පත් නොවී ආරක්ෂා කර ගැනීමට වගකීමක් තිබෙනවා.

අපේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ පෙන්වා දුන් පරිදි අද ධර්මයේ වේශයෙන්ම ධර්මය විකෘති කරන අවස්ථා අපි දැක තිබෙනවා. ඒ සඳහා පාලකයන්ට කුමක්ද කළ හැක්කේ? උන්වහන්සේ මට ආරාධනා කළා මීට පෙර රජ දවස සිටි රජවරු වගේ මේ සඳහා ක්‍රියාමාර්ග ගන්න කියලා. අපි සූදානම්. හැබැයි, ඒ ක්‍රියාමාර්ග සඳහා අපේ ධර්මධර, විනයධර ගෞරවනීය මහා සංඝරත්නයේ සහාය අවශ්‍යයි. 

සමස්ත ලෝකවාසීන්ගේ විමුක්තිය උදෙසා දේශනා කරන ලද දහම ආරක්ෂා කර ගැනීම සඳහා අපි හැම දෙනාම එක්ව වැඩ කරමු කියා මම ආරාධනා කරනවා. මේ වෙනුවෙන් ගන්නා පියවර දේශපාලන තීන්දු ලෙස හෝ ආණ්ඩුවේ තීන්දු ලෙස අර්ථකථනය කරනවාට මම කැමති නැහැ. අපි බෞද්ධයන් ලෙස ගත යුතු ක්‍රියාමාර්ග ලෙස, මෙම ක්‍රියාමාර්ගවලට අර්ථකථන ලැබෙනවා නම් තමයි මම වඩාත් කැමතියි. ඒ නිසා එම ක්‍රියාමාර්ග අපේ ධර්මයත්, බෞද්ධ ජනතාවත්, අනාගතයත් වෙනුවෙන් ගන්නා ලද බෞද්ධමය තීන්දු බවට පත් විය යුතුයි කියා මම සිතනවා. ඒ සඳහා ඔබවහන්සේගේ සහාය අපේක්ෂා කරනවා. 

අපේ ඉතිහාසය දෙස බැලූ විට අපි ආගමික වශයෙන් පරිහානියට ලක් වෙනවා නම් ඒ හා සමාන ලෙසම ආර්ථික වශයෙන් පරිහානියට පත්ව තිබෙනවා. ආර්ථික වශයෙන් පරිහානියට පත් වෙනවා නම් අපි ආගමික වශයෙනුත් පරිහානියට ලක් වෙනවා. අපේ ඉතිහාසය මෙයයි. අපි ආගමික වශයෙන් ප්‍රබෝධයක් අත්පත් කර ගන්නා සෑම යුගයම අපි ආර්ථික වශයෙන් ප්‍රබෝධමත් වී සිටියා. 

අපි ආර්ථික වශයෙන් ප්‍රබෝධමත් රාජ්‍යයක් කරා ගමන් කිරීමේදී යළි අපේ රටට ආගමික ප්‍රබෝධයක්ද අවශ්‍යයි. මාගේ සහ අපේ ආණ්ඩුවේ ප්‍රයත්නය වන්නේ එම ආර්ථික සහ ආගමික ප්‍රබෝධය උදා කර ගැනීමයි. දුටුගැමුණු රජ සමය, වසභ රජ සමය, මහසෙන් රජ සමය, පොළොන්නරුව පළමු පරාක්‍රමබාහු රජ සමය ගත්විට අපි ආගමික වශයෙන් ප්‍රබෝධමත් රජ සමයක් වගේම ආර්ථික වශයෙන් සමෘද්ධිමත් රජ සමයක්. 

එනිසා ආර්ථික සමෘද්ධියක් අත්පත් කර ගත හැකි වන්නේ ගොඩනැගිලි, මාර්ග, කර්මාන්ත ශාලා, තාක්ෂණික උපකරණ නිර්මාණය කිරීමෙන් පමණක් නෙමෙයි. අපට ආර්ථිකමය ප්‍රබෝධය අත්පත් කර ගත හැකි වන්නේ ඒ සමාන ලෙස සමාජය දැහැමි, අවබෝධයට ලක් කර ගන්නා ලද, අනෙකා කෙරෙහි පහන් සිතින් බලන්න සූදානම් වුණු, වෛරය, ක්‍රෝධය, කුහකත්වය පිටුදකින දැහැමි සමාජයක් තුළයි.

එම දැහැමි සමාජයයි, ආර්ථික ප්‍රබෝධයයි එකට ගමන් කළ යුතුයි. ඒ නිසා  මේ යුගය යළි ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රබෝධය ඇති වූ යුගය ලෙස ඉතිහාසගත කිරීමේ වුවමනාවක් අපිට තිබෙනවා. ඒ හා සමානව ආර්ථික ප්‍රබෝධයක් අත්පත් වන බවත් මා දන්නවා. ඒ නිසා විශාල වැඩකොටසක් මේ වෙනුවෙන් කර තිබෙනවා. 

විශේෂයෙන්ම නොවැම්බර් මස ලෝක බෞද්ධ මහා සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එය අප රටේ ආගමික ප්‍රබෝධයේ විශාල ප්‍රබෝධමත් අවස්ථාවක් බවට පත්වනු ඇතැයි මා විශ්වාස කරනවා.  ඕනෑම  මොහොතක ආගමික සිද්ධස්ථානයන් දුෂ්කරතාවකට, ව්‍යසනයකට පත් වු විට රජයක් විදිහට ඒ සදහා මැදිහත් වීමට අපි සූදානම්. දැහැමි සහ ඉහළ ආර්ථික දියුණුවක් උදා කර ගත් රාජ්‍යයක් අපි ගොඩනැගිය යුතුයි. 

ආණ්ඩුවක් විදිහට ඒ සදහා පැවරී තිබෙන කාර්යභාරය වගේම අපේ හාමුදුරුවන් වහන්සේ වෙත පැවරී ඇති කාර්යභාරයත් නිසි ලෙස ඉටු කරාවි කියන දැඩි බලාපොරොත්තුවක් මා තුළ තිබෙනවා. විශේෂයෙන්ම මේ බුදුදහම සහ අපේ සමාජය අතර අත්නොහැරිය නොහැකි ‌ෙඑතිහාසික බැඳීමක් තිබෙනවා. මීට වසර 2334කට පෙර බුදු දහම මෙරටට ආගමනයට පෙර ලංකාවේ කවර සමාජයක්ද තිබුණේ? අන්න ඒ සමාජය සහ සංස්කෘතියකට  උරුමකම් කියන සමාජයක් බවට පරිවර්තනය කිරීමේ මහා බලය තිබෙන්නේ මේ දහම තුළයි, මේ දහම අප රට තුළ ව්‍යාප්ත වීම තුළයි. එසෙස් නොවන්නට අප කවර සංස්කෘතියකට හිමිකම් කියන ජාතියක්ද කියා සිතාගත නොහැකියි. අපි අනෙකාගේ දුකේදි කම්පනයට පත්වන ජාතියක්. විපතකදී කිසි කෙනෙක් ජාති, කුලමල බලන්නේ නැහැ. අපි සෑම කෙනාටම කම්පනයක් ඇති වෙනවා. 

බුදුදහම සහ අපේ සමාජය ගොඩනැඟීම  පිළිබද ‌ෙඑතිහාසිය උරුමයක්, කතාවක් තිබෙනවා.  බුදුදහම ඉවත් කොට, ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැංවීම පිළිබදව සිතා බලන්නවත් හැකියාවක් නැහැ. අපට ලැබුණේ දහමක් පමණක්ද?  ඒ දහම සමඟ ගොඩනැගුණු විධිමත් අධ්‍යාපනයක් අපට ලැබුණා. අදත් අප රටේ ඉතාමත් ඉහළ ප්‍රශස්ත අධ්‍යාපන රටාවක් තිබෙනවා. ඉපදෙන දරුවන්ගෙන් සියයට 99කට වඩා පිරිසක් පාසල් යනවා. එය ඉතාමත් ප්‍රශස්ත අගයක්. අපි සාක්ෂරතාවයෙන් ඉදිරියෙන් සිටින රටක්.

අපේ රටේ අධ්‍යාපනයේ මුල් පියවර තැබුවේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයයි. නොසැලී තිබෙන මහා පිරිවෙන්, මහා පන්සල් කේන්ද්‍ර කරගෙන අධ්‍යාපනයක් ගොඩනැගුණා. අපට මහා හෙළ වෙදකමක් ලැබුණා. ඉතිහාසයේ අපිට වෙද හාමුදුරුවරු හිටියා. ඉතිහාස කතාවල මහා විස්මිත වෙද හාමුදුරුවරු හමු වෙනවා. මහා හෙළ වෙදකමේ නිර්මාපකයාත් පන්සල, මහා සංඝරත්නය සහ මේ දහමයි. 

මහා ගෘහ නිර්මාණ ශිල්පීන් විශාල නිර්මාණ කළේ මේ දහම සමඟ මුසු වෙලයි. අදත් ‌ෙඑතිහාසික, විස්මිත නිර්මාණවලට හිමිකම් කියන, ඒ බුදුදහම ආශ්‍රිතව ගොඩනැගුණු ඉංජිනේරු තාක්ෂණයක් අපට තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලාංකික ජාතිය පෞඪ, සංස්කෘතිකමය , නිරහංකාර, ආගන්තුක සත්කාරයට ලැදි ජාතියක් බවට පත්වීමට මේ දහම විශාල පිටිවහලක් වුණා. ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීමේ පදනම මිහිදු මහරහතන් වහන්සේගේ ආගමනය බව මා විශ්වාස කරනවා. මේ විශිෂ්ටතම දහම විකෘති කිරීම අපි සෑම කෙනාටම වේදනාවක්. මේ විකෘතිමය දහම තුළ විනයධර භික්ෂූන් වහන්සේගේ බිද වැටීම අපට වේදනාවක් ගෙන දෙන්නක්. 

මත්කුඩු සම්බන්ධයෙන් අපේ හිමිවරුන් 21 නමක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මා ත්‍රෛනිකායික මහා නාහිමිපාණන් වහන්සේ සමඟ සාකච්ඡවක් පැවැත් වූවා. උන්වහන්සේ ඉදිරිපත් කළේ පුළුවන් නම් අධිකරණයට ගෙන යෑමට පෙර උපැවිදි කරන්න කියලයි. අපි කොහොමද හාමුදුරුවන් වහන්සේලා මාංචු සමඟ එකපෙළට අධිකරණයට ගෙන යන්නේ?  ඇත්තටම ත්‍රෛනිකායේ නියෝජිත මහානාහිමිපාණන් වහන්සේලා එයට එකඟතාව පළ කළා. පසුව උන්වහන්සේලා නිදොස් වෙනවා නම් යළි පැවිදි වීමේ අධිෂ්ඨානයකට ආවා. එහෙත් නීති උපදෙස් තිබෙන්නේ දහම මත නෙමෙයි. ඒ නිසා ඒක සිදු වුණේ නැහැ.

මේ දහම මත පදනම් වන ඕනෑම නරක පන්නයේ සිදුවීමක් අපට වේදනාවක් ගෙන දෙනවා. අපි පන්සල සමඟ ගොඩනැගුණු ජාතියක්. අපේ ගමේ තිබූ ප්‍රධාන උත්සවය පොසොන් උත්සවයයි.  අපට බෞද්ධාගම කියා දුන්නු හාමුදුරුවන් වහන්සේ අපේ ගමේ නායක හාමුදුරුවන්. උන්වහන්සේලා සවස ස්නානය කිරම සඳහා පාරදිගේ වැවට වඩින විට අපි බොරළු පාරේ දණ ගසා වැඳපු මිනිස්සු. අපි ඒ ආධ්‍යාත්මයත් සමග ගොඩනැගුණු මිනිස්සු. අපට දහම, හොද නරක, අනාගතය ගැන කියා දුන්නේ හාමුදුරුවන් වහන්සේ. අපේ ගමක ආරවුලක් විසඳන්න ආවේත් හාමුදුරුවන් වහන්සේ. ඒ ආශ්‍රිතව ආධ්‍යාත්මයක් සහිත අපිට මේ සිදුවීම්වලින් වේදනාවක් ගෙනැත් දෙනවා. 

ඒ නිසා, ඔබ වහන්සේලාට, ඔබ වහන්සේලාගේ සංස්ථාවල විනය පවත්වා ගෙන යෑම සදහා අවශ්‍ය බලතල ලබා දිය යුතුයි. මා පමණක් නොව, මහානායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය මේ සම්බන්ධව සිත් තැවුළෙන් සිටින බව මා දන්නවා. 

ඒ සිදුවීම් මත පදනම්ව මේ විමුක්ති දහමට එරෙහිව යමක් තිබෙනවා නම් ඒ මත පදනම්ව යම් ගොඩනැගීමක් තිබෙනවා. ඒ නිසා යළි අපි අපි ගැනම සිතා බැලිය යුතු යුගය එළැඹ තිබෙනවා. එසේ නොමැති නම් වසර 2615ක චිරාත් කාලයක් ආරක්ෂා කරන ලද දහම අපි අප ඉදිරිපිට විනාශ වීමට ඉඩ දිය යුතුද? ජීවිත පරදුවට තබා උපසම්පදාව ආරක්ෂා කර ගැනීම සදහා ඉතිහාසයේ වෙහෙස වූ අපේ සංඝයා වහන්සේලා සිටිනවා. අපට උන්වහන්සේලා සිහියට නැගිය යුතු නැතිද?  අපේ රජවරු සැඟ වී ජීවත් වෙලා තිබෙනවා. එසේ රැකගත් දහමක් අපේ ඇස් ඉදිරියට විකෘතිභාවයට පත් කරනවා නම්, අවලාද, අසත්‍ය චෝදනාවන්ට අභිමුඛ වී තිබෙනවා නම් අපි කුමක්ද කළ යුත්තේ? මේ වෙසක් පුන් පොහොය දිනයේදී අපි අපි ගැනම මෙනෙහි කරගත යුතුයි. 

අපේ බෞද්ධ ප්‍රජාව, පියතුමන්ලා, මවුලවිතුමන්ලා, කුරුක්කල්තුමන්ලා අපි සෑම දෙනාම දරුවන්ගේ, තරුණ පරම්පරාවේ ආරක්ෂාව වෙනුවෙන්  යළි අප රටේ ආගමේ ප්‍රබෝධයක් වෙනුවෙන්  වෙහෙස විය යුතුයි. පාසල් දරුවන්, ආරක්ෂක අංශ නිලධාරීන් මත්ද්‍රව්‍ය  නිසා අත්අඩංගුවට අරන් තිබෙනවා. තොග ගණන් මත්ද්‍රව්‍ය  ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඇයි? 

දහමක්, විනයක්, සමාජයක් බිදවැටුණු තැනක අපරාධ, අපචාර, සමාජ අර්බුද නිර්මාණය වීම වළක්වන්න බැහැ. අපේ ශාස්තෘන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරන මේ අවස්ථාවේදී මේ නරක තත්ත්වයෙන් රට මුදා ගැනීමේ කාර්යභාරයක් අපි සියලුම දෙනාටම පැවරී තිබෙනවා.ඒ වෙනුවෙන් සියලු දෙනා එක් වෙමු’යි කියා මම ආරාධනා කරනවා 

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, ලෝක තරුණ බෞද්ධ සංගමයේ මහා ලේකම් මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමිපාණන් වහන්සේ රාජ්‍ය වෙසක් මහෝත්සවයේ පිළිගැනීමේ කතාව සිදු කළහ. 

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී, ඓතිහාසික සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ, මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික වයඹ පළාත් ප්‍රධාන සංඝනායක සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක හිමිපාණන් වහන්සේ, මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ම්‍රම්මවංශාභිධජ සිරි සද්ධම්මයුක්තික පාර්ශ්වයේ මහානායක දර්ශනපති අතිපූජ්‍ය කණුමුල්දෙණියේ චන්දවිමල  නායක හිමිපාණන් වහන්සේ සහ  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනා සිදු කළහ.

මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති සහ තිහගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය හක්මන ඥානවිමල ස්වාමීන් වහන්සේ පුණ්‍යානුමෝදනාව සිදු කළහ. 

ත්‍රෛනිකායික මහ නායක, අනුනායක, ලේඛකාධිකාරී සහ පළාත් මහා සංඝරත්නය සහ තායිලන්තය, වියට්නාමය ඇතුළු බෞද්ධ රටවලින් වැඩම කළ මහා සංඝරත්නයද, අනෙකුත් ආගමික පූජකවරුද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍ර පෝල්රාජ්, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, නියෝජ්‍ය අමාත්‍ය අර්කම්  ඉල්ලයාස්, දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු යන මහත්ම මහත්මීහු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයෝද, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු විදෙස් තානාපතිවරු සහ මහකොමසාරිස්වරුද, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහුද, ත්‍රිවිධ හමුදා ප්‍රධානීහු, රාජ්‍ය නිලධාරීහු සහ ජනතාව විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ

6 Comments

  1. පදු රජෙක්..හැ...හෑ

    ReplyDelete
    Replies
    1. 42% කින් JR හදපු ක්‍රමයෙන් ජනාධිපති වුනු තෝ රජෙක් නොවේ ත්‍රස්තවාදියෙක්.

      Delete
  2. නූතන චේතිය රජතුමාට ජයවේවා

    ReplyDelete
  3. පෙර කාලෙ දවසක දොරටුපාලයෙක් නම් රජවුනා හැබැයි රොඩියෝ රජවෙලා හිටියේ නෑ

    ReplyDelete
  4. තෝ ගුලි කාලද ? කුඩු ගහලද ? අයිස් ගහලද?

    ReplyDelete
  5. තොට පිස්සුද අරවින්ද

    ReplyDelete
Previous Post Next Post