ඩොලරය වැඩිවීමෙන් ඉන්ධන යලි ඉහලට..


 ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන, විදුලිය සහ ජල ගාස්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි.

ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන පරිදි මහ බැංකුව විසින් වෙළෙඳපොළේ ඇති ඩොලර් මිලදී ගැනීම සහ මූල්‍ය පද්ධතිය තුළ රුපියල් අතිරික්තයක් පැවතීම හේතුවෙන් ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ ගොස් රුපියල පීඩනයකට ලක්ව ඇත.

පවතින ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයන් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන විදේශ විනිමය සීමා වීම සහ අපනයන ක්ෂේත්‍රයට එල්ල වී ඇති බාධා නිසා පද්ධතියට ලැබෙන ඩොලර් ප්‍රමාණය පහත වැටී තිබේ.රුපියල දුර්වල වීම ඛනිජ තෙල් මිල කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන අතර, ඒ අනුව ඉදිරියේදී පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ඒ මහතා සඳහන් කරයි.

ඉන්ධන සහ බලශක්ති පිරිවැය ඉහළ යාමත් සමඟ අනෙකුත් සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ ගොස් පොදු ජනතාවගේ ජීවන වියදම තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතී.

''පෙට්‍රල්, ඩීසල් මිලට බලපෑමක් වෙන්න පුළුවන්.. මොකද ආනයනය කරන්නේ අපි ඩොලර්වලින් නිසා රුපියල්වලට නැවත පරිවර්තනය කරලා තමා මිල තීරණය වෙන්නේ.. ඒ කියන්නේ රුපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ ඒ හා සමානවම අපේ ඉන්ධනවල මිල ඉහළ යනවා.. තෙල්වල මිල ඉහළ යනවා කියන්නේ ඒ හරහා උද්ධමනය ඉහළ යනවා.. ඒත් එක්කම විදුලි බිල, ජල බිල, භාණ්ඩවල මිල ඉහළ යනවා''

Previous Post Next Post