රජයේ සහනාධාර පැකේජය මාස තුනකට පෙර අවසන්..- IMF කොළඹ ප‍්‍රධානී


රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන රුපියල් බිලියන 100ක සහනාධාර පැකේජය තාවකාලික එකක් බවත්, එය එළඹෙන සැප්තැම්බර් මාසය වන විට අවසන් වීමට නියමිත බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා ප්‍රකාශ කළේය. ඇතැම් විට එම සහනාධාර සැප්තැම්බර් මාසයටත් පෙර අවසන් වීමට ඉඩ ඇති බව ඔහු පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වැනි සහ හයවැනි සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

 මෙම සමාලෝචන සාර්ථක වීමත් සමඟ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක් ලබා ගැනීමට ප්‍රවේශය ලැබෙන අතර, ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවට ලබා දී ඇති සම්පූර්ණ මූල්‍ය පහසුකම් ප්‍රමාණය ඩොලර් බිලියන 2.4ක් දක්වා ඉහළ යනු ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා, ශ්‍රී ලංකාවේ උද්ධමනය 2022 වසරේ පැවති 60% - 70% මට්ටමේ සිට මේ වන විට තනි අංකයක මට්ටම දක්වා පහත වැටී ඇති බව සඳහන් කළේය.

උද්ධමනය පාලනය කිරීම සහ විනිමය අනුපාත නම්‍යශීලීව පවත්වාගෙන යමින් විදේශ සංචිත යළි ගොඩනැංවීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය,.

රජය සහ මූල්‍ය අරමුදල අතර ඇති කරගත් එකඟතාවන්ට අනුව මෙම තාවකාලික සහනාධාර පැකේජය පිළිබඳව බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති බවත්, එම ඉලක්කයන් පවත්වාගෙන යාම පිළිබඳව අවබෝධයකින් පසුවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය

Previous Post Next Post